රටවල් හැත්තෑවකින් පළවෙනියා වූ ශාන් ප්‍රනාන්දු කියපු කතාව..

0
57

2014 වසරේදී Best Model Of The World තරගයේදී Best National Costume සහ Best Cat Walk යන අංශවලින් රටවල් හැත්තෑවක් අභිබවායමින් ජයග්‍රහණය හිමිකරගත් රංගන ශිල්පී ශාන් ප්‍රනාන්දු පුවත්පතක් සමග කල කතා බහක් උපුටා දැක්වීමට අපි තීරණය කළා. මේ එම සංවාදයයි.

ශාන්.. අපිට ඔයා ගැන විස්තර ටිකක් මුලින්ම කියමුද?

මගේ නම ශාන් ප්‍රනාන්දු.. මම පදිංචි වෙලා ඉන්නේ වත්තල. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි, මමයි තමයි.

පුංචි කාලේ ශාන් හීන දැක්කේ කවුරු වෙන්නද?

මම පුංචි කාලේ ඉඳන්ම කලාවට හරි කැමැත්තක් තිබුණා. අපේ අක්කා ෆිල්ම් සෑහෙන්න බලන කෙනෙක්. ඒ නිසා අක්කත් එක්ක එකතු වෙලා මාත් ෆිල්ම් බැලුවා. ඒක මට පිස්සුවක් වගේ වුණා. මම වැඩිපුරම හින්දි ෆිල්ම් බැලුවා. එහෙම ෆිල්ම් බලපු මට එක හීනයක් ඇතිවුණා. ඒ කවදාහරි දවසක මාව විශාල තිරයක දකින්න ලැබෙන්න ඕන කියන හීනය ඇති වුණා. ඒ ආසාව හිතට ආවට පස්සේ ඒ ආසාව හැබෑ කරගන්න ඕන විදිහ ගැන මම හොයන්න පටන් ගත්තා.

ඒ ආසාව හැබෑ කරගන්න මුල් වුණේ කොහොමද?

2010 වසරේ එක්තරා ආයතනයකින් “Best Model Of The World” තරගයකට තරගකරුවන් යවන්න අවස්ථාවක් තියෙනව කියලා පුවත්පතකින් මම දැක්කා. ඒ රොසෑන් ඩයස් ගුරුතුමිය යටතේයි. ඒ නිසා එතනදී මට රොසෑන් ඩයස් අක්කව මුණගැහුණා. ඒ තරගයට මාව තේරුණේ නැහැ. හැබැයි රොසෑන් ඩයස් මට එයාගේ ක්ලාස් එකට ඇවිත් ඉගෙන ගන්න කියලා කිව්වා. එතනදී තමයි මගේ මේ ගමනේ ආරම්භය වුණේ. ඒ අවස්ථාවෙත් මේ ක්ෂේත්‍රයේ ඉන්න අයව, ක්ෂේත්‍රයට එන්න ඕන විදිහ, සිනමාවට මම එන්න ආස වුණාට ඒකට එන්න ඕන අඩිතාලම මෙතනින් ගන්න ඕනේ කියලා මම ඒ අවස්ථාවෙන් තේරැම් ගත්තා. ඒ නිසා මම රොසෑන් ඩයස් මහත්මියගෙන් ඉගෙන ගත්තා. 2012 දී ලංකාවේ Best Model Of World කියන තරගවලින් තෝරාගැනීමේ තරගයෙන් මම අවසාන් දොළොස් දෙනාට තේරුණා. ඒ තරගයෙනුත් මට ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි “Best Photogenic” විදිහට මම එදා තේරුණා.

shan fernando

ඔය කාලේදී ශාන්ට මියුසික් වීඩියෝවලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා නේද?

ඔව්… 2012 පවත්වපු තරගයෙන් පස්සේ තමයි මට මියුසික් වීඩියෝ කිහිපයකට ආරාධනා ලැබුණේ. අද වනවිට මියුසික් වීඩියෝ මම අටක් හෝ දහසක් විතර කරලා තිබෙනවා. 2013 දී Best Model Of The World තරගය අවසානයේදී මම රොසෑන් අක්කට “අක්කේ මම ලබන අවුරුද්දේදී කොහොම හරි මේ තරගය දිනනවා කියලා කිව්වා.

කිව්ව විදිහට ශාන් ඒ තරගය දින්නද?

ඔව්.. 2014 වසරේදී Best Model Of The World තරගයේදී මම ලංකාවේදී ඒ තරගය දිනුවා. ඊට පස්සේ ජාත්‍යන්තර තරගයට මම පිටරට ගියා. ඒ ජාත්‍යන්තර තරගයේදී අංශ හතරකින් ජයග්‍රහණය කළා. ලංකාවේ දැනට එක තරගයකින් අංශ හතරක් දිනුවේ මමයි, ඒ Best National Costume සහ Best Cat Walk යන අංශවලින් ජයග්‍රහණය කළා. ඒ ජාත්‍යන්තර තරගයට රටවල් හැත්තෑවක් සහභාගී වුණා.

නිරූපණ ක්ෂේත්‍රයේ නියැලුණු ශාන් රංගනයට එකතු වූයේ කොහොමද?

2014 වසරේදී එම තරගයෙන් ජයග්‍රහණය කරලා ලංකාවට ආවට පස්සෙ මට ආයෙත් දිනෙත් අයියව (දිනෙත් ද සිල්වා) මුණගැහුණා. දිනෙත් තමයි මේ ක්ෂේත්‍රයේ මට මුණගැහුණු ඉතාම හොඳ සහෝදරයෙක්. දිනෙත් තමයි මට හැමදේටම උදව් කළේ. 2010 අවුරුද්දේ ඉඳන් තමයි දිනෙත්ව මට මුණගැහුණේ. නිරූපණ ක්ෂේත්‍රයේදීත් ඔහු මට ගොඩාක් උදව් කළා. එදා ඉඳන් මම ඉතා ළඟින්ම ආශ්‍රය කරපු හොඳ යාළුවෙක්. ඇත්තටම යාළුවෙක්ටත් වඩා ඔහු මට අයියා කෙනෙක් වගෙයි. ඉතින් දිනෙත් හරහා මට උදාර පල්ලියගුරුව හඳුනාගන්න අවස්ථාව ලැබුණා.

shan fernando

ඒ හඳුනාගැනීමෙන් මේ වනවිට ශාන් රංගනයටත් දායක වෙලා තියෙනවා?

ඔව්.. උදාර පල්ලියගුරු නිෂ්පාදනය කළ “සාම කුමරුගේ කතාවට රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. මට රඟපාන්න ලැබුණේ කැලේ නයකයා වෙන්න උත්සහ දරන ගෝත්‍රික චරිතයක්. ඒ නිසා ඒ ෆිල්ම් එක නිසාම මාසයක් වගේ කාලයකදී මම මගේ ඇඟ හදාගත්තා. චරිතයට මම සාධාරණයක් කළාද නැත්ද කියලා මම හරියටම දන්නේ නැහැ. ඒක තීරණය කළ යුත්තේ නරඹන්නන් විසිනුයි. මම මගේ උපරිමයෙන් කළා කියලා මම කියනවා.

වසර කිහිපයකට පෙර රූගත කිරීම් කරපු මෙම චිත්‍රපටයට සම්බන්ධ වීමෙන් පසුව ශාන්ට වෙනත් රංගන කටයුතුවලට ආරාධනා ලැබුණේ නැද්ද?

මම සිරස නාළිකාවේ විකාශනය වුණු “තුත්තිරි කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඊට අමතරව තවත් චිත්‍රපටයකටත් මට අවස්ථාව ලැබුණා. තාම ඒකේ රූගතකිරීම් ආරම්භ කරලා නැහැ. බොහෝ විට මේ වසරේ හෝ ලබන වසරේ මුලදී ඒ චිත්‍රපටයේ රූගත කිරීම් පටන් ගනීවී.

ශාන්ගේ තිබුණු හීනයක් අද වෙද්දී යම්දුරකට හැබෑ වෙලා.. රංගනයට සම්බන්ධ වීම ගැන ගෙදරින් මොකද කියන්නේ?

අම්මා, තාත්තා, අක්කා, මට ගොඩාක් උදව් කළා. ඒ තුන්දෙනාගෙන් නම් අකමැත්තක් තිබුණේම නැහැ. හැබැයි මගේ අයියාගෙන් නම් මුලින් අකමැත්තක් තිබුණා. අයියට මාව බැංකු ක්ෂේත්‍රයට වගේ ක්ෂේත්‍රයකට යොමුකරන්න උවමනා වුණා. දැන්නම් ඉතින් අයියාගෙනුත් ප්‍රශ්නයක් නැහැ.

ඊළඟට ශාන්ගේ තියෙන බලාපොරොත්තු මොනවාද?

දිනෙතුයි, මමයි එකතු වෙලා මොඩල් ඇකඩමියක් පටන් ගත්තා. ඒ ඇකඩමියේ නිරූපණය පිළිබඳව වගේම ඉදිරියේදී රංගනය පිළිබඳව ද ඉගෙනීම් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ලංකාවේ ඉන්න ප්‍රවීණ කලාකරුවන් කලාකාරියන් ගෙන්වලා වැඩමුළු පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මුම්බායිවලට ගිහින් සිනමා වැඩමුළුවකට සහභාගී වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here