සෑම සිංහලයෙක්ම අනිවාර්‍යයෙන් කියවිය යුතු ලිපියක්…

0
82

සිංහල බෞද්ධ මිත්‍රයන් වෙත,

අවුරුදු 2600 කට පස්සේ ඉතිහාසය විසින් ආයෙත් පාරක් අපේ විනිශ්චය ඉල්ලා සිටිනවා. ඒ සිංහල අපිට අයිති එකම නිජබිම තුලදී. සිංහල බෞද්ධයන්ට අයිති එකම රට මතදී. නිර්මල බුදුදහම දිවිහිමියෙන් රැක්ක, සංඝරත්නය පණමෙන් රැක්ක වසර දස දහස් ගණනක ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන මේ මාතෘභූමියේදීම වීම අහම්බයක් නෙමේ. ඊයේ රාත්‍රිය පුරාම නින්දත් අඩනින්දත් අතර, හැම සැබෑ සිංහල බෞද්ධයෙක්ම සිටියේ දෙලොවක් අතර බවත් රහසක් නොවේ.

මේ ලියුම කියවන බොහොමයක් අය, මම වගේම, කිරි අම්මා එක්ක පන්සිල් ගන්න පුරුදු වෙලා ඇති, අම්මට තාත්තට වැදලා නින්දට ගිහින් ඇති, දහම් පාසල් ගිහින් ඇති, පන්සලේ බණ මඩුවේ දුවල පැනල ඇති, කටින පුජාවට නිදිමරලා ඇති, කොටස් වශයෙන් හෝ පිරිත් පාඩම් ඇති, සිය ගාණක් පහන් පුජා බෝධි පුජා සංවිධානය කරලා ඇති, පන්සලේ පොඩි හාමුදුරුවෝ යාලුවෙක් වෙන්න ඇති, වෙසක් පෝයට දන්සැල් දීල ඇති, අදත් ගමේ ගියාම නොවරදවාම ගිහින් ලොකු හාමුදුරුවන්ව බැහැදැකලා එනව ඇති. හිතන්න, එක මහා ජාතියක්ම, එක මහා පුරුද්දක ඉන්න හැටි. එහෙව් අපෙන් ඉතිහාසය යලිත් වරක් විනිශ්චයක් ඉල්ලා සිටිනවා.

සිංහල බෞද්ධයෝ තරම් ඉවසපු අහිංසක ජාතියක් මේ ලෝකෙ වෙන කොහේවත් නැතුව ඇති. සොලී ඇවිත් අපිට කරදර කළා. අපි උන්ට ගෑනුත් දීලා කෝවිල් හදාගන්න පන්සල් අයිනේ ඉඩකඩත් දුන්නා. පෘතුගීසි ඇවිත් බෙලි කැපුවා. හැබැයි ලන්දේසි ආවම අපේ හාමුදුරුවරු පෘතුගීසින්ට බණ මඩුවේ හැංගෙන්න ඉඩ දුන්නා. ඊටපස්සේ ඉංග්‍රීසි ඇවිත් අපේම මහ එවුන් එක්ක එකතුවෙලා රට අල්ලගන්න හදද්දී සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය බිම දාලා පාගලා වෙඩි කෑවා. 1815 මුළු ඌව වෙල්ලස්සම ලෙයින් තෙත්වෙද්දීත් හාමුදුරුවරු ජාතික ධජය අතදරාගෙන සිටියා. අවුරුදු 100 කටත් වඩා ඉංග්‍රීසි පාලනය පුරාම අලුත් පල්ලි හැදිලා සිංහල බෞද්ධයන් කිතුණු ආගමට හරවාගද්දී හාමුදුරුවරු බුද්ධියෙන් තර්ක කළා මිසක් ආයුධ ගත්තේ නෑ. වෙළදාමට ආපු මුස්ලිම් මිනිස්සුන්ට නිදහසේ රට පුරාම ගිහින් පල්ලි හදාගෙන මුස්ලිම් ගම්මාන හදාගන්න ඉඩ දුන්නේ සිංහල බෞද්ධ මිනිස්සු. එහෙව් අපෙන් ඉතිහාසය යලිත් වරක් විනිශ්චයක් ඉල්ලා සිටිනවා.

එවකට තිබු එජාප ආණ්ඩුව විසින් නිර්මාණය කර පෝෂණය කර ඇති දැඩි කල 83 කළු ජූලියෙන් ආරම්භ වූ ලොව දරුණුම ත්‍රස්තවාදය, කොටින්ගෙන් වැඩිපුරම බැට කෑවෙත් සිංහල බෞද්ධ අපි. අපේ සංස්කෘතියේ කොදු නාරටිය ශ්‍රී මහා බෝධිය ලේ විලක් කලත් අපි එක කෝවිලකට ගැහුවේ නෑ. අපේ ජාතිකත්වයේ සලකුණ දළදා මාලිගාවට ගැහුවම නායක හාමුදුරුවරු කීවේ සන්සුන්ව බුද්ධියෙන් අභියෝගය ජයගමු කියල. රෑට රෑට කොටි පැනල මායිම් ගම්මානවල අම්මල තාත්තල දරුවෝ කැති ගානකොට හාමුදුරුවරු තමා පන්සල් හදාගෙන ඒ ගම් රැක්කේ. අරන්තලාවේදී ගලාගෙන ගියේ සිංහල බෞද්ධයාගේ ඉවසීමේ අවසන් හුස්ම පොද. එහෙව් ඉවසපු අපෙන් ඉතිහාසය යලිත් වරක් විනිශ්චයක් ඉල්ලනවා.

අවුරුදු 30ක යුද්ධයකින් පස්සේ සිංහල බෞද්ධයා හුස්ම ගන්න හදනකොට, හිනාවෙන්න හදනකොට, වහාබ් වාදය විසින් නිර්මාණය කර, මුස්ලිම් දේශපාලකයන් විසින් පෝෂණය කල, වර්තමාන ආණ්ඩුව විසින් ඇතිදැඩි කල අන්තවාදී ත්‍රස්තවාදය ආයෙත් වරක් අපේ හිස මුදුනටම කෙළියා. ඒක අතිශයින්ම සුක්ෂම සැලසුමක්. ලොවම දන්නා පාස්කු ඉරිදා කිතුනුවන් මරලා මුළු කිතුනු ලෝකෙම අවධානය දිනා ගත්තා. හැම රාජ්‍ය නායකයාම අපි දිහා බලාගෙන. හැම ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවම කැමරාත් එක්ක ලංකාවේ. හැම ජාත්‍යන්තර සංවිධානයම ලංකාව ගැන ප්‍රකාශ නිකුත් කරනවා. ඒ අස්සේ මිනිස්සු දැනගන්නවා ආණ්ඩුව මේ ප්‍රහාරය ගැන හැම දෙයක්ම දැන හිටිය වගත්, ජනාධිපතිවරයා ප්‍රහාරයට ඉඩදී රටින් පැනගිය වගත්, අග්‍රාමාත්‍යවරයා සිනාසී ඇත පිසදාගත් බවත්.

මැරුණ බහුතරය කිතුනුවෝ වුනාට සිංහල බෞද්ධයෝ එදා ගෙදර බත් ඉව්වේ නෑ.

තරහ, දුක, රිදුම, බලාපොරොත්තු සුන් වූ බව, ආවේගය ඇතුළු සියලු කෝපයන් දරාගෙන සිංහල බෞද්ධයෝ අසමත් ආණ්ඩුව දිහා බලාගෙන, එක ගලක්වත් කිසිවෙකුට නොගහා හිටියේ, ඒ 2500 වසරක හික්මීමෙන් ලැබූ සංයමය සහ අන්තවාදය සමග එන විදේශ හමුදා, අන්තර්වාල පාලන, ප්‍රතිත්‍රස්ත පනත් ගැන දන්නා නිසා. මුස්ලිම් මිත්‍රයා සැබෑ සතුරාගෙන් වෙන්කරගත යුතු නිසා. ශ්‍රී ලංකාව හැමෝටම අයිති, සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතික හික්මීමෙන් විනයගත වුනු රටක් නිසා.

ඒ සියල්ල යටපත් කරමින් කුලී මෝටර්සයිකල් ත්‍රස්තවාදී කණ්ඩායමක් වයබ පළාතේ ඉදන් කොළඹ දක්වා මුස්ලිම් පල්ලි සහ දේපල විනාශ කරන්න පටන් ගත්තා. ආණ්ඩුව දිවයිනටම ඇදිරි නීතිය දාන්න ආයෙත් පැය විසිහතරක් ගියා. පොලිසිය හමුදාව හදිසි නිතිය යටතේත් ඔවුන්ව නැවැත්තුවේ නෑ. ජනපතිගේ පක්ෂයේ මහලේකම් බලෙන් පොලීසියට ගොස් අපරාධකරුවන් නිදහස් කරගෙන එනවා. ජනාධිපති සියල්ල දැනගෙන රට ගිහින්. පහරදෙන්න ආපු අය පිටගම් කාරයෝ බවත් නොහදුනන බවත් හැමෝම කියන්න ගත්තා. සිංහල බෞද්ධයෝ කෑ ගහල කිවා ‘මේක ප්ලෑන් එකක්’ කියලා. හැමෝටම තේරුනා මේක නවතින්නේ විදේශ හමුදා ලංකාවට ගෙන්නලා කියල.

නියම සිංහල බෞද්ධයෝ සහ සංඝරත්නය දැන් මේ ප්ලෑන් එක ගැන නොබියව විවෘතව කතාකරනවා. ආණ්ඩුව අලුත් 83 කළු ජූලියක් වෙනුවෙන් පිබුරුපත් හදනවා. විදේශ හමුදා ගෙනත් අන්තර්වාර පාලනයක් හරහා තමුන්ගේ පාලනය දිගටම පවත්වාගෙන යන්න හදනවා.

සිංහල බෞද්ධ අපේ හැසිරීම ගැන මුළු ලෝකෙම ඇස් ඇරගෙන, කැමරා හරවාගෙන, නැව් ලංකරගෙන, තුවක්කු සුදානම් කරගෙන බලන් ඉන්නවා. ආණ්ඩුව කුලීයට ගත්ත මෝටර් සයිකල් ත්‍රස්‌තවාදීන්ට ඊලග ගොදුර ගන්න අවශ්‍ය ඉඩ හදමින් ඉන්නවා. ඒ අස්සේ අධ්‍යාපන ඇමති කියනවා පාසල් හෙට නිසිලෙස පැවැත්වෙනවා කියල. දරුවන්ගේ ලේ මතින් හරි ආණ්ඩුබලය රැකගන්න සිරිසේන – රනිල් හවුල අන්තවාදයට ඉඩ දෙන විත්තිය කාටවත් රහසක් නොවේ.

සිංහල බෞද්ධ මිතුරනි, සහරාන් පරාජය කලහැක්කේ අප තුල ඇති බෞද්ධ විනයෙන්ම පමණි. ආණ්ඩුව ගෙදර යැවිය හැක්කේ අප තුල ඇති බෞද්ධ හික්මිමෙන්ම පමණි. රාජිතලාගේ කුලී මෝටර්සයිකල් හමුදාව මර්ධනය කල හැක්කේ අප තුල ඇති බෞද්ධ පරිචයෙන්ම පමණි.

ඉතින් අපි ‘ලංකාව සිරියාවක් කරන ප්ලෑන් එක’ පරාජය කරමු.

– මිලින්ද රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here