දේශප්‍රේමයද? මන්ත්‍රීප්‍රේමයද? තරුණ මන්ත්‍රීවරයකුගේ අපූරු අකුරු කිහිපය..

0
56

සති තුනක අන්තවාදීන්ගේ භීතිය, සමාජයේ සැකය සහ ඉදිරි ගමන් මඟ

අප්‍රේල් 21 වන දිනයේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී සහ අන්තවාදී ප්‍රහාරයට අදට සති තුනකි. එහි කම්පාව, ශෝකය සහ බියකුරු බව තවමත් අප තුලින් මැකී ගොස් නොමැත. එම ප්‍රහාරය සිදු වූ පළමු මොහොතේ සිට මේ දක්වා අති ගෞරව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් කතෝලික ආගමික පුජකවරුන්ට සහ ප්‍රජාවට පමණක් නොව මුළු රටටම දෙන ලද නායකත්වය සහ ආදර්ශය අගය කල යුතුමය. සිංහල, බෞද්ධයකු වශයෙන්ද මා එය ඉතාමත් ගෞරවයෙන් අගය කරමි.

එය එසේ සිදුවුවත් එම නායකත්වය සහ ආදර්ශය බෞද්ධ ජන සමාජයේ බුද්ධ පුත්‍රයන්ට මෙන්ම මුස්ලිම් ජන සමාජයේ ඉස්ලාම් ආගමීක නායකයන්ටද දේශපාලනය කරන සැමටද විවිධ පාර්ශවයන්ට සහ පක්ෂවලට බෙදෙන්නේ නොමැතිව අද දිනයේද දිය හැකිද යන්න ප්‍රශ්නයකි?

කතෝලික ජන සමාජයේ අදහස හා හඬ කාදිනල් වහන්සේගේ මුව තුලින් පමණක් එකම හඬක් ලෙස සමාජගත වීම නිසාම එය වෙනත් ආගමික හෝ දේශපාලන නායකයකුගේ හඬකට වඩා ප්‍රබල වීමටද හේතුවක් වී ඇත. එම හඬ සහ හැසිරීම රාජ්‍ය පාලකයන් මෙන්ම මුස්ලිම් ජන සමාජයේ ආගමික සහ දේශපාලන නායකයන්ද ආදර්ශයක් බවට පත් කර ගත් විගස ජනතාව තුල ඇති බොහෝ ප්‍රශ්නවලට සහ සැකයන්ටද පිළිතුරු ලැබෙනු ඇත. එය විශේෂයෙන් මේ මොහොතේ මුස්ලිම් ජන සමාජය නියෝජනය කරන අන්තවාදී අදහස් වලට විරුද්ධ සහ චෝදනා එල්ල නොවන දේශපාලන නායකයන්ගේ, සිවිල් සංවිධාන පුරවැසියන්ගේ සහ ඉස්ලාම් ආගමික නායකයන්ගේ සුවිශේෂී වගකීමකි. හමුදාවන් සොයා ගන්නා කඩු සහ කිනිසි මෙන්ම අවි ආයුධ පිළිබඳවද චෝදනා එල්ල වන පුද්ගයන් පිළිබඳවද විහිළු ප්‍රකාශ සහ වගකීම් රහිත ප්‍රකාශ කිරීම් තුලින් පැන නැගී ඇති ගැටලු සහ සැකයන්, බහුතර සමාජය තුල තව තවත් වර්ධනය වී ඇත. මිත්‍රත්වයෙන් සිටි අසල් වැසියන් මෙන්ම සහෝදරත්වයෙන් සිටි දිගු කල් මිතුරන් අතරද එම ප්‍රකාශ නිසා නොයෙක් ගැටළු සහ සැකයන් වර්ධනය වී ඇත. එම නිසා මේ මොහොතේ අන්තවාදයට සහ ත්‍රස්තවාදයට එරෙහිව මුස්ලිම් සමාජයේ සමස්ථ අනෙකුත් නායකයන් සහ පිරිස පෙළ ගැස්වීමද මුස්ලිම් ප්‍රජාවගේ වගකීමක් වනු ඇත.

එමෙන්ම මේ මොහොතේ සහ මිට පෙරද නායකත්වය ලබා දෙන සහ හඬ අවදි කර ඇති බොහෝ බෞද්ධ සමාජයේ භික්ෂුන් වහන්සේලා ගෞරවයෙන් සිහිපත් කරන අතර එලෙස ස්වාමින් වහන්සේලා සිටියත් එයද එකම හඬක් බවට තවමත් පත් ව නැතිවීමද කණගාටුවට කරුණක් බවට පත්ව ඇත.

දේශපාලනය සහ දේශපාලනය කරන පිරිස, අන්ත පිරිහීමකට ලක්ව ඇති අද සමාජයේ මාද ඇතුළුව සියලු දේශපාලකයන් පක්ෂ බේදයෙන් සහ තරා තිරම නොබලා ජනතාවට තිත්ත වී ඇත. එලෙසම දේශපාලනයේ නියුතු භික්ෂුවද එම පිරිසේම කොටසක් බවට පත්වී සිටීම නිසාම බොහෝ දුරට දේශපාලනයේ නියතු හිමිවරුද පිරිහීමට ලක්ව ඇත. දේශපලනයේ නියුතු ගිහීන් සහ දේශපාලනයේ නියුතු භික්ෂුන් වහන්සේලා පාර්ශව දෙකක් ලෙස නොව එකම පාර්ශවයක් ලෙස අද බහුතර බෞද්ධ ජනතාව තුලද සමාජගත වී ඇත.

අද බෞද්ධ ආගමික හිමිවරුන්ගේ නායකත්වය, අනුශාසනා සහ උපදෙස් බෞධයන්ට පමණක් නොව දේශපාලන නායකත්වයට සහ මුළු මහත් රටටම අවශ්‍යම යුගයකි. නමුත් එය සිදු කිරීමට යම් දුරකට හෝ අද අසීරු වී ඇත්තේද ජනතාව තුල දේශපාලනයට තිබෙන කලකිරීමේ කොටසක් බවට, ක්‍රමානුකුලව දේශපාලනය කරන භික්ෂුවද පත්ව ඇති නිසා බව මා සිතමි. එය මේ මොහොතේ කාදිනල්තුමාගේ වචනවලට සහ ක්‍රියාකලාපයට ජනතාව දක්වන ප්‍රතිචාරය සහ දේශපාලනය කරන භික්ෂුන්ගේ වචන සහ ක්‍රියාකලාපයට දක්වන ප්‍රතිචාර තුල ඇති වෙනසින් තවත් ඉසමතු වී ඇත.

ඉතිහාසයේ සිටම අපගේ රාජ්‍ය පාලනයට අවශ්‍ය උපදෙස් සහ අනුශාසනා භික්ෂු සමාජයෙන් ලබා ගත් සංස්කෘතියකට උරුමකම් අපට ඇත. එමෙන්ම තීරණාත්මක සහ අවශ්‍යම මොහොතේ දේශපාලන නායකත්වයද රටට දුන් හිමිවරුන්ද ඉමහත්ය. නිදහස් අරගලය වෙනුවෙන් පන පෙවූ වාරියපොළ සුමංගල හිමි, ටිබෙට් ජාතික එස් මහින්ද හිමි, බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හිමියන් ඇතුළු එවැනි බෞද්ධ හිමිවරුන් බොහෝය. එම නායකත්වය අද නැවත ලබා දිය හැකි හිමිවරුද අපට බහුලය. නමුත් එය නැවත ඇති ක‍රන්නට නම් පක්ෂ දේශපාලනයෙන් ආගමික නායකත්වයන් වෙන් කර ගත යුතුය. එමෙන්ම දේශපාලන නායකත්වය ආගමික නායකත්වයේ අනුශාසනා වලට ඉතිහාසයේ මෙන් අනුගත කල යුතයමය. දේශපාලකයන් සහ ආගමික නායකයන් වෙන් කර ගත යුතුය. එකම වෙනම හඬක් බවට ආගමික නායකයන්ගේ හඬද එකම වෙනම හඬක් බවට දේශපාලකයන්ගේ හඬද පත් විය යුතය.

රටටම එකම නීතියක්ද තිබිය යුතුයමය. උඩරටට එකක්, දකුණට තව එකක්, උතුරට තවත් නීතියක් සහ කඳුකරයට වෙනමම නීතියක් හෝ බෞධයන්ට සහ සිංහල ජාතියට එක නීතියක් සහ මුසිලිම් ජාතිකයන්ට සහ ඉස්ලාම් ආගමිකයන්ට වෙනමම වූ නීතියක් නොවිය යුතුය. සියලු ශ්‍රී ලාංකිකයන්ට නීතිය එකම විය යුතුමය. එයද මේ මොහොතේ සියල්ලගේම එකම හඬකින් විය යුතය.

අපගේ සංස්කෘතියෙන් පෝෂණය වූ සමාජයද නැවත නගා සිටුවිය යුතුය. සියලු ජාතීන්ට සහ ආගමිකයන්ට අප රටේ සංස්කෘතියට සහ නීතියට අනුව ජීවත්වීමේ අයිතියද තහවුරු කල යුතුය. එමෙන්ම මා මීට වසර දෙකකට පෙරද, නව යෝජිත ව්‍යවස්ථාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී දැක්වූ අදහස් වලදී යෝජනා කල එක්තරා ජාතියක්, එක්තරා ආගමක් හෝ එක්තරා ජන කොටසක් මුල් කර ගත් දේශපාලන පක්ෂ සහ දේශපාලන සංවිධානද මෙරටින් තුරන් විය යුතුය. තවද එකට සාමකාමීව එකම නීතියක් යටතේ ජීවත්වීමට නොහැකි පරිසරයක් නිර්මාණය කරන පිරිසද ශ්‍රී ලාංකිකයන් වශයෙන් තව දුරටත් සැලකිය නොවිය යුතුය.

කිසි දිනක මා හිතේ එකක් තියාගෙන තවත් ඊට හාත්පසින්ම වෙනස් දෙයක් පවසා නැත. 2015 රැල්ලට හසුවූ සැම එදා ගොනු වුයේ මයිත්‍රීපාල සිරිසේන සහ ජාතික ආණ්ඩුව තුලය. බලය සහ තනතුරු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට එම පිරිස විවිධ පනත් පහසුවෙන් සම්මත කර ගන්නටද ඉවහල් විය. එම ජාතික ආණ්ඩුව තුල මෙම පාර්ලිමේන්තුවේම හමුදාවන්ට එරෙහිව ජිනීවා යෝජනා, ත්‍රස්තවාදීන්ගේ පවුල්වලට වන්දි ගෙවන කාර්යාල, යුධ සමයේ ආරක්ෂක අංශ නායකයන් සහ දේශපාලන නායකයන් දඩයම් කිරීමේ අරමුණින් බිහි කල අතුරුදහන්වුවන් සෙවීමේ කාර්යාල යන සියල්ලට පක්ෂව අත එසවූ පිරිසක් ඇත. බුද්ධි අංශ සිරගත කරන විට සහ හමුදා කඳවුරු ඉවත් කරන විට සංහිදියාවේ නාමයෙන් ඔවුන් එයටද නිහඩ විය. අද එම නිලධාරීන්ගේ රැකවරණය සහ ආරක්ෂාව නැවත ඔවුන්ටම අද අවශ්‍ය වී ඇත. අද ඔවුන් රැල්ලට දේශප්‍රේමීන් වන්නට කටයුතු කරන ආකාරයද අපට දිස් වන්නේය. එය සැබෑ “දේශප්‍රේමයටද” නැත්නම් “මන්ත්‍රීප්‍රේමයටද” යන්න කල්පනාවෙන් වෙන් කර යුතුව ඇත. චන්ද වැඩිකරගන්න සහ බහුතරය අතර ජනප්‍රිය වෙන්න මීට වඩා අමිහිරි නොවන මතයක් ඉදිරිපත් කිරීමට හැකි වුවත් සහ බොහෝ දෙනෙක් මම මේ දරන මතය සමග එකඟ වුවත්, නොවුනත් මෙය මා දකින යථාර්තය සහ මෙය හුදෙක්ම මා දරන පෞද්ගලික මතයක් පමණි. ඔබගේ එකඟ වන සහ එකඟ නොවන අදහස්ද එකතු කරන්න.

“සාමයට සහ සමගියට කැමැති සහ අන්තවාදයට සහ ත්‍රස්තවාදයට විරුද්ධ සැවොම එකට එක් වී නැගී සිටියොත් පමණක් ශක්තිමත්ව ගොඩනැගිය හැක, බෙදී වෙන් වුනොත් පහසුවෙන් අප කඩා වැටිය හැක, එලෙස කඩා වැටුනවිට අපට රටක්ද අහිමි වෙනු ඇත.”

– කංචන විජේසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here