අයිතිකාරයෝ භාර නොගත් ලියුම් ලියන හාදයාගෙන්, දහම් මනාල මහතාගේ පියාට ලිපියක්…

    0
    124
    milinda rajapaksha

    මම ‘අයිතිකාරයෝ භාර නොගත්ත ලියුම් සීයක්’ පොත ලියපු හාදයා කියල දන්න කීප දෙනෙක් මැසේජ් එවල තිබ්බ ඊයෙ දිනයේ යුගදිවියට එළඹුණු ඒ වාසනාවන්ත සිරිසේන යුවලේ මනමාල මහත්තයාටත් ලිපියක් ලියන්න කියල. ඒත් ඒ තරුණ මහතා වගේම ගමක හැදිච්ච වැඩිච්ච් මම, අද කාලේ වුනත් මගුලක් කරන්න අම්ම තාත්තාගේ අවසරයෙන්, සංවිධානයෙන් සහ විශේෂයෙන්ම තාත්තාගේ සල්ලි නැතුව බැරි බව හොදයාකාරවම දන්න නිසා අර කොලුවාගේ හනිමුන් එකට බාධා නොකර සැහැල්ලුවෙන් විවේකයෙන් ගෙදර ඉන්න ‘ජනාධිපති තාත්තාට’ ලිපියක් ලියන්න සිතුවෙමි.

    ඉතින් දහම් සිරිසේනගේ තාත්තේ, සුභ පැතුම්! තමුන් රජෙක් වෙනවාටත් වඩා තමුන්ගෙ පුතා රජ කුමාරයෙක් වගේ දීගෙක යවන එක ගොඩක් තාත්තලගෙ සිහිනයක්. රජ පුටුව අහිමිවීම හයියෙන් පිඹින හුස්මක විතට දුරකින් තියෙන වෙලාවක, හදිසි නීතියටත් වඩා හදිස්සියෙන් : රටේ සමස්ථ මහජන ආරක්ෂාවටත් වඩා ආරක්ෂාවක් දාගෙන පුතාගෙ මගුල් ගෙදර කිරීමෙන් මට තේරුනේ ‘ඈ බං මචන්…’ කියල සුද්ධ සිංහලෙන් දෙකක් කියල දීල ඇස් අරවන්න තරම් කළ්‍යාණ මිත්‍රයෙක් හෝ කිට්ටු නෑදෑයෙක් තාත්තටයි පුතාටයි දෙන්නටම නෑ කියන එකයි.

    නමුත් සරල කම අගයන තාත්තෙක් විදියටත් බ්‍රෙසියර් ගලවන ගෑනු ළමයින්ට මඩුවලිගෙන් තලන්න යෝජනා කරපු ජනතා නායකයෙක් විදියටත්, කසාද බදින තුරු අඹුසැමියන් ලෙස නොහැසිරෙන ලෙස ඔබ පුතාට උපදෙස් දී තිබුනේ නම් රට වැසියාට බෝම්බ පිට බෝම්බ හත් අට පාරක්ම වැදී කෙලවුනත් ප්ලෑන් කරපු විදියටම රටේ පළවෙනි පුරවැසි පවුල මගුලක් කෑම සාධාරණ බව මගේ හැගීමයි.

    ළමයි ඉස්කෝලෙ යන්නෙ නැති රටක, හෝටල් වලට සුද්දෝ නොඑන රටක, ආගමික සිද්ධස්ථානවල පුද පූජා සදහා ගෙනා කඩු කිණිසි යකඩ බෝල අහුවෙන රටක, බෝම්බ හදපු කම්මලේ ඈයො ඇප පිට ගෙදර යන රටක, ‘දැන් සේරම හරි හෙට ඉදන් මහජනතාවට ආපසු සුපිරුදු එදිනෙදා ජීවිතයට යන්න පුළුවන්’ කියල ඔබතුමා වගකිවයුතු ප්‍රකාශයක් කලේ ‘අපිට’ නොව ‘වෙඩිමට ඉන්වයිට් කරපු නෑදෑ හිතමිතුරු අයට’ බව මට තේරුණේ උදේ පොලීසියෙන් නවත්තල අයිඩෙන්ටි කාඩ් එක ඉල්ලද්දි.

    ‘අපිට හෝටල් වලට ආරක්ෂාව දෙන්න බෑ’ කියල වෙඩිම කල් දැමීමට ප්ලෑන් ගහපු ඔබ තුමාගේ පවුලේ හොදම හිතවතා ආරක්ෂක ලේකම්තුමාටත් ගෙදර යන්න වුනේ ඇයි දැයි කියා තේරුම් ගැනීමට රාජිත සේනාරත්නගේ තරමේ මොළයක් වුව ප්‍රමාණවත්ය.

    ජාතියක් විදියට මගුල් කන්න තිබ්බ රටක් මේක සර්. ඔබතුමාට වෙන මගුල් තිබ්බ නිසා බුද්ධි අංශ වලට මොන මගුලක්වත් කරගන්න බැරිවුනා. අන්තිමට රටම අවමගුලක් වුනා. යුද්ධෙ දින්නම අපි හැමෝම පාරට බැහැල මගුල් කෑව. ඊළග යුද්දෙ පටන්ගත්තම ඔබ තුමා හොරෙන් මගුල් කෑව.

    අබු සෙයිලානි කියල සුභ මංගලම් පතල මම නවතින්නම්.

    මීට ඔබේ යටහත් රට වැසි
    – මිලින්ද රාජපක්ෂ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here