“World Cup” නොගිය කි‍්‍රකට් තරු මේ දවස් වල කරන දේවල්…

0
496
upul tharanga

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තරග වැදී සිටින තීරණාත්මක මොහොතක, මෙවර ලෝක කුසලානය සදහා කණ්ඩායමට ඇතුළත් නොවූ සමහර ක්‍රිකට් ක්‍රීඩකයින් කණ්ඩායමේ හිටියා නම් හොඳයි කියලා බොහෝ දෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසාම මේ ක‍්‍රිකට් තරු මේ දවස් වල මොනවද කරන්නෙ කියලා සති අග පුවත්පතක පලවෙලා තිබුනා. මේ දිනවල තියෙන ක්‍රිකට් උණුසුම නිසාම අපි එම ලිපිය මෙසේ ඔබ වෙත ගෙන ඒමට තීරණය කළා..

“පුංචි දුකක් තියෙනවා” – උපුල් තරංග

upul tharanga
දේශීය පළමු පෙළ ක‍්‍රිකට් තරග මේ දිනවල නොපැවැත්වුණත් උපුල් දිගටම පුහුණුවීම්වල නිරතව සිටින බව කියන්න පුළුවනි. ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩා තරග ක‍්‍රීඩකයින් හට එලෙසින් දිගටම පුහුණුවීම්වල යෙදීමට සිදුව තිබෙනවා. ඒ අතරවාරයේදී ඔහු සඳැල්ලට විස්තර කිව්වේ මේ විදියටයි.

උපුල් කොහොමද ජීවිතේ?

වරදක් නැහැ. හොඳින් ගෙවෙනවා. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ජාතික කණ්ඩායමට නොතේරීම ගැන පුංචි කනගාටුවක් තියෙනවා. ඒත් දිගටම පුහුණුවීම්වල නම් යෙදෙනවා.

ක‍්‍රිකට් ලෝලීන් හමුවුණාම මොනවද අහන්නෙ?

පේ‍්‍රක්ෂකයින් හමුවුණාම අහන්නෙ කණ්ඩායමේ හිටියා නම් හොඳයි නේද කියලයි. විශේෂයෙන්ම එංගලන්තයේදී දස්කම් දක්වා තිබෙන නිසා ක‍්‍රිකට් ලෝලීන් ඒ විදියට බලාපොරොත්තු වෙනවා.

මේ ලැබුණු විවේකය කොහොමද ගෙවන්නෙ?

විවේකය ලැබුණාම ගමේ යනවා. ඒ වගේම පසුගිය දිනවල නම් රටේ නොගිය තැන් වගේම ගිය තැන්වලත් සංචාරය කළා. ලංකාවේ මුහුදු වෙරළ තියෙන ලස්සන පළාත්වලට යන්න ආසයි. ඊට අමතරව දඹුල්ල, නුවරඑළිය, ඇල්ලට ගොඩාක් ආසයි.

පාසල් සමයේදී එංගලන්තයේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරලා තියෙනවා නේද?

ශ‍්‍රි ලංකා 19න් පහළ කණ්ඩායමේ සිටියදී, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එදා අවස්ථාව ලබා දුන්නා. මාස 6ක් විතර එංගලන්තයේ ක‍්‍රීඩා කළා. ඒක ජීවිතයට ගෙන දුන්නෙ අලූත්ම අත්දැකීමක්.

පසුව ජාතික කණ්ඩායමට ඇවිත් එංගලන්තයේ ක‍්‍රීඩා කරලා ලැබූ මිහිරි මතකයන් මොනවද?

2005 දී වගේ එංගලන්තයේදී අපට එක්දින තරගාවලිය ජයග‍්‍රහණය කරන්න පුළුවන් වුණා. ඒක විශිෂ්ට ජයග‍්‍රහණයක්. එදා 5/0 ලෙස අපි එංගලන්තය පරාජය කළා. තරග දෙකකදීම මම ශතක ලබා ගත්තා. ඒ තරගාවලිය ඇත්තටම මිහිරි මතකයක්.

උපුල්, ඔබගෙ සමකාලීන ක‍්‍රීඩකයින් විවාහ වෙලා දරුවොත් ඔවුනට ඉන්නවා. ඔබ තවම තනිකඩයි? ඇයි මේ?

තවම සුදුසු කෙනා හමුවෙලා නැහැ. සුදුසු කෙනා ලැබෙන කල් මේ විදියට ඉන්නවා.

කොයි වගේ කෙනෙක්ද හිතාගෙන ඉන්නෙ?

ඒක ඉතින් ඇය හමුවුණාම තමයි කියන්න පුළුවන්.

එතකොට ලැබෙන යෝජනා?

එහෙම යෝජනා නම් නැහැ.

ඉදිරි ක‍්‍රිකට් ජීවිතය ගැනත් කිව්වොත්?

තව 34නෙ. ඉතින් තවත් කාලයක් ක‍්‍රීඩා කරන්න පුළුවනි. ඊළඟ ලෝක කුසලානය ගැන දැන්ම අනාවැකි කියන්න බැහැ. ඒත් ඒ දක්වා ජාතික කණ්ඩායම වෙනුවෙන් උපරිම දක්ෂතා පෙන්වන්න උත්සාහ ගන්නවා.

“බැට් එක අල්ලන්න තව සති තුනක් යයි” – අසේල ගුණරත්න

asela gunaratne

අසේල මේ දිනවල විස්තර මොන වගේද?

තුවාල වෙච්ච අත සුව වෙන්න තව මාසයක් විතර කල් යාවි. එතකල් ෆිට්නස් වෙනුවෙන් ශාරීරික ව්‍යායාම්වල යෙදෙනවා. තව සති තුනකින් විතර බැට් එක අල්ලන්න පුළුවන් වේවි.

ගෙවී ගිය දවස්වල මොනවද කළේ?

ආබාධයට ලක් වෙච්ච අත සුව කර ගන්න වෛද්‍යවරු හමුවීමට ගියා. විවිධ වෛද්‍ය උපදෙස් ගන්න ගියා. ඒ අතරේ ශාරීරික යෝග්‍යතාවය තබා ගත යුතුයි. ඒ නිසා ඒ ගැන තමයි වැඩිපුර හිතුවෙ. ජීවිතයෙ වෙනදාට වඩා පවුලේ අයත් එක්ක ගත කරන්න අවස්ථාව ලැබුණා. ඒ අතරේ ක‍්‍රිකට් මැච් නැරඹුවා.

ක‍්‍රිකට් නරඹද්දි මොන වගේ හැඟීමක්ද එන්නෙ?

ටිකක් විතර දුකයි. ඒත් මොනවා කරන්නද අත තුවාල වෙච්ච නිසා ක‍්‍රීඩා කරන්න බැහැනෙ.

ක‍්‍රිකට් අනාගතය ගැන හිතන්නෙ කොහොමද?

ජාතික කණ්ඩායමට ආවාම එක දිගට වගේ ආබාධවලට ලක් වුණා. බාහිර ආබාධයන්ට තමයි වැඩිපුර ලක්වුණේ. කොහොම වුණත් ඉස්සර විදියට මහන්සිවෙලා, කැපවෙලා තරග කරන්නයි බලාපොරොත්තුව.

ඒ කියන්නෙ ඊළඟ ලෝක කුසලානය ගැන හිතනවා කියලයි?

ඇත්තටම අවස්ථාවක් ලැබුණොත්, දක්ෂතා තිබුණොත් ඒ ගැන හිතනවා. බලමු ඉදිරිය ගැන අනාවැකි කියන්න බැහැනෙ.

ක‍්‍රීඩා ලෝලීන් හට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නෙ?

ඕනෑම දෙයක් හරියට වෙන්නෙ නැති වුණාම පේ‍්‍රක්ෂකයින් බනිනවා. ලෝකයේ හැටි එහෙමයි. ඒත් බැන බැන හරි මිනිස්සු ක‍්‍රිකට් නරඹන්නෙ ක‍්‍රිකට්වලට සහ ක‍්‍රීඩකයින්ට ආදරේ නිසයි. ඒ නිසා කණ්ඩායමක් හැටියට අපි ඉක්මනට ස්ථාවරත්වයකට එන්න ඕනෑ.

“පි‍්‍රමියර් ලීග් තරඟාවලියට එනවා” – චාමර කපුගෙදර

chamara kapugedara

කපුගෙදර මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායමේ නොසිටියත් පසුගියදා ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති තරඟය නරඔන්නට පැමිණ සිටියා. ක‍්‍රිකට් පිටියේ මෙ හැඩකාරයා එංගලන්තයට ගියේ ඇයි.

එංගලන්තයේ ස්ලීෆෝර්ඞ් ක‍්‍රිකට් සමාජය වෙනුවෙන් මේ දිනවල මම ක‍්‍රීඩා කරනවා. මාස කීපයක් ඒ වෙනුවෙන් මට එංගලන්තයේ රැුදී සිටින්න සිදු වෙනවා.

කොහොමද ජිවිතේ?

ජීවිතේ හොදයි එත් ගෙදරින් ටික දවසක් ඈත්ව සීටිම ගැන දුකයි. පුතාලා තුන් දෙනයි නෝනායි නැතුව පාළුයි.

ක‍්‍රිකට් ලෝලීන් හමුවුනාම මොනවද කියන්නේ?

එදා වගේම එයාලගෙ ආදරය ලැබෙනවා. කණ්ඩායමේ හිටියත් නැතත් ඒ ආදරය දිගටම ලැබුණා.

එදා එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරඟය නරඹන්නත් ඇවිත් හිටියා, ඊට විශේෂ හේතුවක් තිබුණාද?

කණ්ඩායමේ හිටියත් නැතත් ක‍්‍රිකට් වලට ආදරෙයි. ඒ වගේම ඒ වෙලාවේ අපේ අය වෙනුවෙන් තරඟය නරඹන්න යා යුතුමයි කියලා හිතුවා. අපිට ඒ තරඟය ඉතා තීරණත්මක එකක්. ඉතින් එය ජයග‍්‍රහනය කීරිම ලොකු සතුටක්. එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔක්කෝමලා හමුවුණා. ඒ ගැනත් සතුටු වෙනවා.

හෙට දවසේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෙදෙන විදිය ගැනත් කිව්වොත්?

එළැඹෙන ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ. එහිදී දක්‍ෂතා පෙන්වලා නැවතත් කණ්ඩායමට ඒම අරමුණයි.

“ගෙදරට වෙලා ඉන්නවා” – නුවන් කුලසේකර

nuwan kulasekara

නුවන් කොහොමද ඉතින්?

දේශීය තරගත් නැති නිසා ගෙදරට වෙලා ඉන්නවා.

කොහොමද ජීවිතය?

ගෙදරට වෙලා වර්ල්ඞ් කප් මැච් නරඹනවා.

ඉදිරි කටයුතු කොහොමද සැලසුම් කරලා තියෙන්නෙ?

විශේෂ දෙයක් ගැන තවම හිතලා නැහැ. තවත් අවුරුද්දක් දෙකක් විතර ක‍්‍රිකට් ගහලා තීරණයක් ගන්නවා.

ඔබගෙ දැනුම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ලබා දෙන්න සූදානම්ද?

අපි දන්නා දේ ඉගෙන ගන්න දේ ක‍්‍රිකට්. ඉතින් ඒ ඉගෙන ගන්න දේ ලංකාව වෙනුවෙන් දෙන්න එපායැ.

වෘත්තිය හැටියට ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් විතරද?

ඔව්, වෙන දෙයක් කළේ නැහැනෙ.

“දැන් කොන්ද හොඳයි..” – ධනුෂ්ක ගුණතිලක

Danushka Gunathilaka

ධනුෂ්ක මොකද වෙන්නෙ?

මොනවා වෙන්නද ඉතින්, කොන්දේ ඇති වූ ආබාධයට දිගටම ප‍්‍රතිකාර ගන්නවා. මේ ආබාධය ඇති වුණේ මාස දෙකකට විතර පෙරදි.

දැන් තත්ත්වය කොහොමද?

දැන් හොඳයි.

එතකොට පුහුණුවීම් පටන් ගත්තද?

ඔව්, දැන් මේ සතියේ ඉඳලා පුහුණුවීම් පටන් ගත්තා.

විවේකය ගත කළේ කොහොමද?

ආබාධය තිබූ නිසා මොනවත් කළේ නැහැ. මම සංචාරය කරන්න ආසයි. ඒත් කොන්දේ ආබාධය සුව වෙනකල් කොහේවත් ගියේ නැහැ. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළා.

දැන් වෛද්‍යවරු මොනවද කියන්නෙ? මේ ආබාධය ගැන?

දැන් ආයෙත් පුහුණුවීම් පටන් ගන්න කීවා.

වර්ල්ඞ් කප් මැච් එහෙමත් නරඹනවද?

අපොයි ඔව්, අපට ලොකු චාන්ස් එකක් තියේවි. පොසිටිව් විදියට ක‍්‍රීඩා කළොත් හොඳ ප‍්‍රතිඵල ලැබෙයි.

පේ‍්‍රක්ෂකයින්ට මොනවද කියන්න තියෙන්නෙ?

මම ආබාධයකට ලක් වූ බව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. ඒ නිසා හමුවුණාම අහන්නෙ ඇයි කණ්ඩායමේ නැත්තෙ කියලයි. ඉතින් ඒ අයට කියන්න තියෙන්නෙ මම ඉක්මණට ආයෙත් පිටියට එනවා කියලයි.

සටහන: සඳුන් ගමගේ

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here