හොරණ බිහි වූ කෘතහස්ත පියෙක් සහ පුතෙක් ගැන අපූරු සටහන

මගෙ පළවෙනි දේශපාලන වීරය රත්නසිරි වික්‍රමනායක. රත්නසිරි මහත්තයව මට මුලින්ම මුණගැහුණෙ 1997 දි.එතකොට මම හොරණ ශ්‍රීපාලියෙ 11 – D පන්තියේ. ඒ ආශ්‍රය බොහෝම ම ළග ඇසුරක් දක්වා දුර දිග ගියා.රටේ දෙවෙනි පුරවැසිය එක්ක ඒ තරම් ළග ඇසුරක් තිබීම ගැන මම එක්තරා අමතර ආත්මතෘප්තියකුත් වින්ද.

මගෙ විවාහයෙ එක් සාක්ෂිකරුවෙක් වෙන්න මම ආරාධනා කලේ අපේ රත්නසිරි මහත්තයට.එතකොටත් එතුමා අගමැති.ඒත් රත්නසිරි මහත්තය ආවෙ නෑ.

දිනය නොවැම්බර් 30 වෙලාව හවස හයහමාරට විතර ඇති.Wedding එකට දවස් තුනයි.මට මෙන්න මෙහෙම Call එකක් ආව.

සංජීව එදිරිමාන්න මහත්තයද?
ඔව්…
මම වික්‍රමනායක
මොන වික්‍රමනායක ද
මම රත්නසිරි වික්‍රමනායක
අනේ.සර් සමාවෙන්න මට කටහඩ ඇහුණෙ නෑ හරියට
මට මගුල් ගෙදර එන්න වෙන්නෙ නෑ. ජනාධිපතිතුමා හදිසියේම කිව්ව UN general Assembly එකට යන්න කියල. අනේ අමනාප වෙන්න එපා සමාවෙන්න. විදුරයි අපේ නෝනයි එයි. ජනාධිපතිතුමත් එනව කිව්ව…

අපේ හිතවත්කමට ඔහු මොනතරම් ගරු කලාද කියල මට දැනුණෙ දුරකථනය විසන්ධි කරද්දි නැවතත් “සමාවෙන්න” කියල කියද්දී. ඇමරිකාවට ගොස් ආපහු පැමිණි සැනින් මා හමුවෙන බවටත් ඔහු පොරොන්දු උණා.

පෙරලා දිවයිනට පැමිණි සැනින් රත්නසිරි මහත්තය මට කතා කලා.ඔහුගේ කට හඩ අතරින් මට ඇහුනෙ මෝටර් රථයේ හඩක් නෙවෙයි ගුවන් යානයේ එන්ජින් හඩ.මම අදටත් විශ්වාස කරනව ඔහු ලංකාවට ආපු ගමන් පළවෙනිම Call එක ගත්තෙ මට කියල.රටේ අගමැති හිතවත්කම්වලට ඒ තරම් ගරු කරන්න පුරුදු උණේ කොහොමද කියල මම තාම කල්පනා කරනව.

අපේ හිතවත්කම ඇතුලෙ තිබ්බෙ ලොකූ ගමේකමක්.ඕනෑම සභාවකදි එතුමන් මාව අනික් අයට හදුන්වල දුන්නෙ ” මෙතුම අපේ ගමේ මිනිහෙක්” කියල.ඒ හැදින්වීමට මම තාමත් ආදරෙයි.

2015 අගදි මම රත්නසිරි මහත්තයව බලන්න කොළඹ නිල නිවසට ගියා.එතකොට සර්ට ටිකක් සනීප මදි.ඒත් ඉස්තෝපුවටම ඇවිත් මගෙ උරහිසට අත තියල මාව පිළිගත්ත.අපි පැය දෙකක් විතර කතා කලා.අපේ මාතෘකා උණේ මහින්ද මහත්තය ගැන රට ගැන අපි අපි ගැන සහ එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන.දිග කතාව ඉවර කරල මම එතුමට වැදල යන්න අවසර ඉල්ලුව.

“ළමයි ඔය කෙක්ක අරං එන්න. සේවකයෙක් විසින් ගෙනා උණ කෙක්කත් අරං වත්තෙ තිබ්බ දෙල් ගහ ළගට ගිහින් ගහේ තිබ්බ දෙල් ගෙඩි වලින් බාගයක් විතර කඩල සේවකයෙක් ලවා මගෙ වාහනෙට පැටෙව්ව.

ඒ අපේ අවසාන දීර්ඝ හමුවීම බව මගෙ හිත මට නිකමටවත් කිව්වෙ නෑ.එතුමන්ගෙ ශරීර ලක්ෂණ වලත් මට එහෙම දෙයක් පෙනුණෙ නෑ..ඒත් යළි ඒවැනි දිගු හමුවීමකට ස්භාදහම අපිට ඉඩ දුන්නෙ නෑ..

රත්නසිරි වික්‍රමනායක මගෙ ජීවිතේ මහා වීරයෙක්. එතුමන්ගෙ මරණය වෙලාවෙ අපේ පක්ෂය වෙනුවෙන් දාපු බැනර් එකේ මම ලිව්වෙ.
“ඔබගේ උත්තුංග ප්‍රතිපත්තිගරුකත්වය අනුකරණයට අවසරයි” කියල.

මේ ඉන්නෙ රත්නසිරි මහත්තයාගේ පුතා විදුර. රත්නසිරි මහත්තයාගේ හිතවත්කම මම අද අත්විදින්නෙ ව්දුර අයියගෙන්.තාත්ත අගමැතිකම් කරද්දිත් තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙච්ච. තාත්ත වගේම සෙරෙප්පු නොදා මහපොළොව පාගන. සුදු වෙන කොණ්ඩෙටයි රැවුලටයි නිදහසේ සුදු වෙන්න ඉඩදීපු. කෘෂි විද්‍යාවට අදාල විරල විෂයක් ගැඹුරටම ඉගෙන ගත්ත.වතුර වගේ ඉංග්‍රීසි පුලුවන් උණත් කාටවත් පේන්න ඉංග්‍රීසි කතාකරන උජාරුවෙන් නොපෙලෙන.විදුර අයියා ළගදි දවසක නෙලුම් මාවතේදී අඩු සීනි ප්ලේන්ටියක් බොන ගමන් ලොකු දේශපාලන කතන්දරයක් මට කියාදෙමින්.

– සංජීව එදිරිමාන්න