ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙන දවස ගැන රනිල් දුන්න ඉඟිය

පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව කුමක්ද යන්න පිළිබඳව මේ වන විට රටේම අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ අදාළ නඩුවේ තීන්දුව අද හෝ හෙට ප්‍රකාශයට පත් කරනු ඇතැයි බලාපොරොත්තු වුවත් එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම බදාදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දින සිදු විය හැකි බවට තම නීතිඥවරුන් දන්වා ඇති බවයි.

ඊයේ (10) අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළ අතර අදාළ නඩු තීන්දුව ලබාදීමෙන් පසුව ජනබල මෙහෙයුම පවත්වන ලෙසට සිවිල් සංවිධාන විසින් එක්සත් ජාතික පෙරමුණෙන් කරන ලද ඉල්ලීමක් අනුව නඩු තීන්දුවෙන් පසුව එළඹෙන සතියේදී නැවතත් එය පැවැත්වීමට සිය පෙරමුණ තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.