ඔක්තෝබර් 26 විප්ලවය විනාශ කලේ බැසිල්ද? පිස්සුද?

දැලි පිහියෙන් කිරි කෑමට සූදානම් වනවාක් මෙන් පෝස්ටුවකි. නමුත් දැනටත් මාව අරූගේ මිනිහෙක් මුගේ මිනිහෙක් ලෙස ටැග් කර ඇති නිසා කියන්නා කෙසේ කීවත් ඉතා පැහැදිලිව කිව යුතුව තිබේ.

“ආණ්ඩුව භාර ගත යුතුය” යන හා හූව එන විටම මම සිටියේ එසේ නොකල යුතුය යන මතයේය. ආණ්ඩුව භාර නොගෙන ශ්‍රිලනිපය සම්පූර්ණයෙන්ම එජාපයෙන් ගැලවීම පමණක් සිදු කල යුතුය යන තර්කය දිගින් දිගටම මතු කලේය. අද සිදු වී තිබෙන්නේත් එය බව කිව යුතුය. මේ බව කියූ විටත් ලියූ විටත් බොහෝ ඡෝදනා හා බොහෝ විවේචන පැමිණි අතර, “තෝ නම් බැසිල්ගේ මිනිහෙක්” ලෙසින් නාම පුවරු එල්ලන්නටද විය. එය කෙතරම් බැරෑරුම්ද කිවහොත්, මහින්ද රාජපක්ෂ මැතිතුමන් අගමැති වූ දා රාත්‍රියේ සෙල්ෆි ඡායාරූපයකට මුහුණ දුන් මොහොතක, “අභීත, උඹ මාත් එක්ක ෆොටෝ ගහලා උඹේ ලකුණු කපා ගන්නද හදන්නෙ” ලෙසින්ද ප්‍රභල මන්ත්‍රීවරයෙක් ඇසුවේය. එය එතරම් දරුණු තැනකට තල්ලු වී තිබිණ.

මේ වෙලාවේ ආණ්ඩුව බිඳ වැටීම කියන කරුණ ගැන මම නම් ඉන්නේ ඉතාම ප්‍රීති සහගතවය. ඊට ප්‍රධානම හේතුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවයි. වසර එක හමාරක් යනතුරු මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැත. මහින්ද රාජපක්ෂ මැතිතුමන් ආණ්ඩුව ගත්තේම මැතිවරණයක් ඉල්ලා සිටිමිනි. ඉතින් මැතිවරණයක් නැතිව ආණ්ඩු කිරීම මා දකින්නේ, වසර එක හමාරක් තුල සියතින් බෙල්ල මිරිකා ගැනීමක් ලෙසටය.

මේ සිරිසේන – රාජපක්ෂ දීගය ගැන කථා බහ අළුත් එකක් නොවේ. එම කථා බහ මට ඇසෙන්නෙ පසුගිය පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දෙන කාලයේ සිටය. එදා ඔවුන් සමඟ මම කල තර්කය මේ ආකාර බව මතක ඇත.

මම – මචං, අපි සිරිසේනත් එක්ක එකතු වෙන්න ඕන නෑ.. අපි ඡන්දෙදි වෙනම ඉල්ලලා දෙවෙනි තැනට ආවොත්, ඉදිරි මැතිවරණ වලදී සිරිසේන කියන සාධකය නැති වෙනවා.. එකතු වෙලා ඉල්ලුවොත් අපේ ජයග්‍රහණයේ වැඩි බරක් උන් දාගන්නවා…

ඔහු – යකෝ, එකතු නොවී ඉල්ලුවොත් උන් පජාත වෙනවා. ඊට පස්සෙ ශ්‍රීලනිප උන්ට කොහොමත් අපි ලඟට එන්න බෑ.. උන් ඔක්කොම රනිල් ලඟට යනවා.. තුනෙන් දෙක උන්ට නතිං ඊට පස්සෙ.. ඊට පස්සෙ රනිලා ෆෙඩරලුයි, එට්කායි, තියෙන දේවල් ඔක්කොමයි විකුණුවාම රටක් ඉතුරු වෙනවාද?

මම – එහෙම යයි ඊලඟ පාර්ලිමේන්තු ඡන්දෙන් පස්සෙ ගෙදර ඉන්න ඕන උන්… උන් සිරාව දාලා අපේ ලඟට එන්න තියෙන ප්‍රවණතාව වැඩියි..

ඔහු – අනේ තෝ දන්න දේශපාලනේ.. උඹ ගිහින් බැසිල්ට පුක දීපං…

හැබැයි සිදු වුනේ මම කියපු කාරණයය. එජාප රජයේ තුනෙන් දෙක අහිමිව තිබේ. පළමුව 16ක් අපට ආ අතර, සෙස්ස පසුව ආහ. මැතිවරණ පැරදුන හතරක් පමණක් අදට එජාපය සමඟ සිටී. 16 කණ්ඩායම පොහොට්ටුවේ සාමාජිකත්වයද ගෙන තිබේ.

දැන් දෙවන පියවර දෙසට හැරෙමු.

ඔලු ගෙඩි මාරු කරමින් අපි ආණ්ඩුවක් හැදුවා කියමු. වසන්තත්, වඩිවේලුත් එහෙට මෙහෙට පැන්න තරමට එම ආණ්ඩුව කී දවසක් තිබේදැයි වග කිව හැක්කේ කාටද? අද දවස තුල බලය රැක ගන්න හා ආණ්ඩුව බේරගන්න එජාපය ගහන ගේමම අපද ගැසිය යුතුය. වසර එක හමාරක් තුල ජනතාවගෙන් බැනුම් අහමින්, ජවිපෙ – එජාපෙ විසින් එල්ල කරන අමූලික බොරු චෝදනාවන්ට ලක්වෙමින්, අපි අපේ ජනප්‍රසාදය හෑල්ලු කර ගැනීමට ඕනෑ තරම් ඉඩ තිබුනි.

මහින්ද රාජපක්ෂ මැතිතුමන් අගමැති වීමෙන් පසුව, විමල් වීරවංශ මන්ත්‍රීතුමන් සහභාගී වූ “සළකුණ” වැඩ සටහන වෙත ඔබේ මතකය ගෙන යන්නට කැමැත්තෙමි. ඔහු එදා “මේ සටන පැරදුනහොත්, අප ලබන ජයග්‍රහණ” ගැන මෙසේ කියූ බව මගේ මතකයේ තිබේ. ” එජාපයේ තුනෙන් දෙක අහිමි වෙනවා.. අපට ප්‍රධාන විපක්ෂය හිමි වෙනවා.. ඊට අදාල කාල සීමාවන්, ඊට අදාල වරප්‍රසාද අපට හිමි වෙනවා.. ඊනියා ආණ්ඩු ගැති විපක්ෂ නයකයාත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයාත් එලෝලා දාලා සැබෑ විපක්ෂයට එම තනතුරු හා අයිතිවාසිකම් ලබා ගැනීමට හැකිවීමම අප ලබන ජයග්‍රහණයක් නොවේද?” සිදු වුනේ එයයි මිත්‍රවරුණි. මීට අමතරව ජනපති සිරිසේන ද අප සමඟ සිටගෙන තිබේ. Lanka Lead News හි පුවත් බලන කල වීරකුමාරලා නැවත විමල්ලා සමඟ සිටගෙන තිබෙන බව හැඟේ.. මේ අප ලැබූ බෝනස් දීමනාය.

එතකොට මේ ආණ්ඩුව මාරු වීම හොඳද නරකද? මට අනුව ඉතාම හොඳය. ආණ්ඩුව පැවත්වා ගෙන යෑම වැළැක් වූයේ බැසිල් රාජපක්ෂ නම් එය ඉතාමත් කාලෝචිත තීරණයකි. නමුත් එය එසේ කිරීම වැරදි යැයි කියන යමෙක් වෙත්නම්, මට ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්ණයක් තිබේ..

“ආණ්ඩුවට පිහිටවීම බැසිල් මඟ හැරියානම්, ආණ්ඩුව පිහිට වූ අය බැසිල් දිහා බලාගෙන, බැසිල් මත පදනම් වූයේ ඇයි?”

ජයග්‍රහණයට පියවරු දහසකි. පරාජය අවජාතකය. ජනවාරි 8 පරාජය කරේ ගැසුවා මෙන් මෙම පරාජයද කාගේ හෝ කරේ ගැසිය යුතුය. බැසිල් රාජපක්ෂ ඒ සඳහා ගැලපේ.. ඉතින් ඔහුගේ කරේම ගහමු.

හැබැයි, 2015 ජනවාරි 8 පරාජය වගේම මෙම අගමැතිකමින් ඉල්ලා අස් වීමද රට වෙනුවෙන් වූ දැවැන්ත දේශපාලන ජයග්‍රහණයන් බව මම අදත් හෙටත් කියමි.

අරූට කපන්න, මූට කපන්න, අරූව උස්සන්න, මූව උස්සන්න තමන්ගේ පහල මට්ටමේ ගෝලයින් ඇවිස්සීම නොව, සමස්ත එක් කඳවුරක් ලෙස අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට තම ගෝලයින් හැසිරවීම සියළු දේශපාලන නායකයින් සතු වගකීමක් බව, ඉතාම වගකීමකින් යුතුව පැවසිය යුතුව තිබේ.

ප.ලි. තොප්පි දාගෙන වටේ නැටීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මේ පෝස්ට් එකේ තිබෙන හැම අකුරක්ම පහත පිංතූරයෙන් පිළිඹිබු වෙනවා ඇත.

– අභීත එදිරිසිංහ