ආයුර්වේද සම්බාහනයෙන් ඔබ්බට ගිය ලංකාවේ ස්පා සෙල්ලම

ස්පා නමින් පවත්වාගෙන යන ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන අද රටේ වැහි වැසිලාය. හන්දියක් හන්දියක් ගානේ ගමක් ගමක් ගානේ දැන් ස්පා ඇරෙන්නේ සිල්ලර කඩවලටත් වඩා වේගයෙනි. මෙසේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි ස්පා හදිසි සෝදියකට ‍පොලිසිය ලක් කරන්නේ ඉකුත් සතියේදීය. ඒ අධිකරණයෙන් ලද සෝදිසි වරෙන්තු ද ඇතිවය. එහිදී ‍පොලිසිය ස්පා 17ක සේවයේ නිරතව සිටි කාන්තාවන් ඇතුළු 59 දෙනකු අත්අඩංගුවටද ගෙන තිබුණි. ඒ බව ‍පොලිස් මූලස්ථානය පවා මාධ්‍ය නිවේදන මගින් ප්‍රසිද්ධියට පත් කෙරිණ.

මෙම වැටලීම කරනු ලැබුවේ එක් දිනක් තුළ පැය හතර පහක කාලයක් තුළදී පමණය. ‍පොලිසිය සංවිධානාත්මකව එවන් මෙහෙයුමක් කළ පළමු අවස්ථාව මෙන්ම වැඩිම ස්පා ප්‍රමාණයක් වැටලූ අවස්ථාවද වන්නේ මෙයයි. මෑතකදී ‍පොලිසිය ස්පා වැටලීමෙන් අත්අඩංගුවට ගත් වැඩිම පිරිස වන්නේද මෙයයි. මෙම වසර තුළ පමණක් විටෙන් විට කරන ලද වැටලීම්වලින් ‍පොලිසිය ස්පා මධ්‍යස්ථාන සියයකට වැඩි ප්‍රමාණයකින් දෙතුන් සියයක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි. වැඩිම වැටලීම් සිදුව ඇත්තේ බස්නාහිර පළාත ආශ්‍රිතවය. මේ වන විට රට පුරා හතු පිපෙන්නාක් මෙන් බිහි වී ඇති ස්පා මධ්‍යස්ථාන වැටලීමෙන් පසු ‍පොලිසිය කියන්නේ සම්බාහනය මුවාවෙන් ඒවා තුළ ලිංගික කටයුතු සිදුවන බවය.

රට පුරා මේ වන විට ගම් නගරවල ඇති ස්පා නොහොත් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානවල වැඩි හරියක් සේවය කරන්නේ තරුණ කාන්තාවන්ය. පැය විසි හතර පුරාම විවෘතව පවතින සම්බාහන මධ්‍යස්ථාන වැඩිය. මෙවැනි මධ්‍යස්ථාන ආවාට ගියාට පවත්වාගෙන යාමටද බැරිය. ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නීතිමය අවසරයක් ඊට තිබිය යුතුය. එහෙත් අප කළ සොයා බැලීමකදී අනාවරණය වන්නේ 2017 වසරේ සිට ස්පා නමින් පවත්වාගෙන යන ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානවලට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් නීතිමය අවසරය ලබා නොදෙන බවය.

මේ අනුව වසර 2017 සිට සම්බාහන ආයතනයක් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිය ලබාගත හැක්කේ ස්පා යන නමින් නොව ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය යන නමිනි. මේ අනුව ස්පා ආයතන වැටලීමේ බලය ‍පොලිසිය සතු වන්නේය.

ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා නීතියෙන් අවසරය ඇත්තේ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුට පමණි. එනම් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ඇති අයෙකුටය. අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ලියා පදිංචිය ලබා දීමට ප්‍රථම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ශිල්පීය අංශයේ නිලධාරීන්, ප්‍රජා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්, ඇතුළු කණ්ඩායම අදාළ ආයතනය පවත්වාගෙන යන ස්ථානය අධීක්ෂණයට ලක් කරනු ලබයි. එම අධීක්ෂණයේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.

අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියා පදිංචි වෛද්‍යවරයෙකු සිටිය යුතුය. එසේම එම ස්ථානය පවත්වාගෙන යාම සඳහා අදාළ ක්ෂේත්‍රයේ පුහුණු සේවක සේවිකාවන් පිරිසක් සිටිය යුතුය. එසේම නියමිත ඉඩකඩ ප්‍රමාණයක් තිබිය යුතුය. එසේම එම ප්‍රතිකාර මධ්‍යස්ථානයන් තුළ භාවිත කරනු ලබන ඇඳන් ‍පොළොවේ සිට අඩි 3 1/2කට වඩා උසකින් යුක්ත විය යුතු වේ.

මෙවැනි බොහෝ කරුණු කාරණා සොයා බැලීමෙන් අනතුරුව මෙම සුදුසුකම සපුරා ඇත්නම් ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවසරය වසරක කාලයක් සඳහා ලබා දේ. මේ සඳහා රුපියල් 1500ක ලියා පදිංචි ගාස්තුවක් අය කරනු ඇත. එසේ වසරක කාලයක් සඳහා ලියා පදිංචිය ලබා දුන්නද ඒ පිළිබදව අධීක්ෂණය කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ ශිල්පීය අංශය කටයුතු කරනු ඇත.

වසර 2017ට පෙර ස්පා නමින් ආයතනයන් ලියා පදිංචි කර ඇත්තේ ආයුර්වේද වෛද්‍යවරුන් නොව ව්‍යාපාරිකයන් විසිනි. ඔවුන් කිසියම් ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ ලියා පදිංචි අංකයක් භාවිතා කරමින් ලියාපදිංචිය ලබා ගන්නේය. මෙසේ ලියා පදිංචිය ලබාගන්නා ආයතනය තුළ ආයුර්වේද ප්‍රතිකාර හා සම්බාහන කටයුතු වෙනුවට සිදු වූයේ අධික මුදල් ඉපයීමේ ලිංගික ජාවාරම් යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමේදී සම්බාහනය වැදගත් අංගයක් ඒත් ආයුර්වේද සම්බාහනයට මුවා වෙලා ව්‍යාපාරිකයින් පිරිසක් සම්බාහනය කියන කොටස යොදාගෙන ස්පා කියන ආයතනයන් තුළ ලිංගික කටයුතු සිදු කරනවා. මේ සඳහා විශාල මුදලක් උපයා ගන්නවා. පුවත් පත්වල සමහර වෙලාවට දැන්වීම් පළ කරනවා. ස්පා ආයතනයට සම්බාහන චිකිත්සකයින් සඳහා ඇබෑර්තු තිබෙනවා. ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන වෛද්‍යවරයකුට මෙපමණ මුදලක් වැටුප ලෙස ගෙවන්න බැහැ. මේ කරුණෙන් පැහැදිලි වෙනවා මුදල් රැස්කීරීමේ යම් අයතා වැඩපිළිවෙළක් සිදු වෙනවා කියලා. කොහොම නමුත් රට තුළ පවතින ස්පා ආයතනවලින් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ සියයට 5ක් පමණයි. අනික් සියයට 95 තුළම සිදු වන්නේ අයථා ලිංගික කටයුතුයි
ස්පා ආයතනයන් තුළ සිදු වෙන අයථා ක්‍රියා මාර්ගයන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හව්හරණයන් ලැබෙන බවද අප හා පැවසුවේ නම එළි කිරීමට අකමැති නිලධාරියෙකි. ඔහු සඳහන් කළේ ස්පා ආයතනයේ අයථා කටයුතු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන ‍පොරොන්දුව මත ස්පා හිමිකරුවන්ගෙන් මුදල් අල්ලස් ලබා ගත් නිලධාරීන්ද ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ සිටින බවය.

ඔහු එසේ සඳහන් කළද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ශිල්පීය ආයතනයේ වෛද්‍ය එස්.කේ.පී. තරංග මහතා අප හා පැවසුවේ ආයුර්වේද කොමසාරිස්ගේ අත්සන හොරට යොදා ලියාපදිංචි සහතිකයන් භාවිත කරමින් ස්පා ආයතනයන් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත්ය. දෙපාර්තමේන්තුවේ සිටි ඇතැම් නිලධාරීන්ගේ අයථා ක්‍රියා කලාපයන් ස්පා ආයතනයන් තුළ ලිංගික කටයුතු කර ගෙන යෑම සඳහා බලපෑම් ඇති කරන බවද හේතම වැඩිදුරටත් පැවසීය.

ආයුර්වේද දෙපාර්තමේන්තුව ස්පා ආයතනයන් තහනම් කළද මේ වන විටත් ස්පා ආයතනයන් රට තුළ තවදුරටත් ක්‍රියාත්මක වන්නේය. එසේ නම් යම් පුද්ගලයෙකුට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයන් මගින් සම්බාහන කටයුත්තක් කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඔහු යා යුතු වන්නේ කුමන ආයතනයක් වෙතද යන්න අපි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති පී. හේවාගමගේ මහතාගෙන් විමසුවෙමු. ඔහු සඳහන් කළේ මෙවන් අදහසකි.

“වසර 2017දී තීරණයකට ආවා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ඒකකයක් ලියාපදිංචි කරනවා නම් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු විසින් ලියා පදිංචි කළ යුතු වෙනවා. ඒ වගේම එම ආයතනය තුළ සම්බාහන ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කරනවා.පිරිමින් සඳහා පිරිමි තෙරපිවරුන්ද කාන්තාවන් සඳහා කාන්තා තෙරපිවරුන්්ද යෙදවීමට කටයුතු කර තිබෙනවා. මෙවැනි නීති රීති නිසා ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයන් තුළ අයථා ලිංගික කටයුතු සිදු කරන්න බැහැ. ඒ නිසා මින් ඉදිරියට ආයුර්වේද සම්බාහන ප්‍රතිකාර මධ්‍යස්ථානයන් තුළ සිදුවන අයථා ක්‍රියාවන් යම් ප්‍රමාණයකින් හෝ නතර කිරීමට හැකි වෙනු ඇතැයි මගේ විශ්වාසයයි..”

ආයුර්වේද සම්බාහන ප්‍රතිකාරය කියන්නේ අනාදිමත් කාලයක සිට පැවත එන හොඳ ප්‍රතිකාර ක්‍රමයක්. මෙම ප්‍රතිකාර ක්‍රමය ගැන මිනිසුන් තුළ තිබෙන විශ්වසනීයභාවය තවදුරටත් රඳවා ගැනීමට වෛද්‍යවරුන් වන අපගේ වගකීමක් මෙන්ම යුතු කමක් ද වෙනවා. පංචකර්ම මෙන්ම සර්වාංග ප්‍රතිකාර ක්‍රමයන්ට අමතරවයි ආයුර්වේද තෙරපි ක්‍රමයන් (සම්බාහන ) ක්‍රියාත්මක කරන්නේ. කොහොම නමුත් බොහෝ ස්පා ආයතනයන් තුළ අද සිදු කරන්නේ සම්බාහන ක්‍රමය විතරයි. ඒකත් ආයුර්වේදයෙන් බැහැරව ගොස් ලිංගික කාර්යයන් සඳහා පමණක් ක්‍රියාත්මක වීම හරහා විශාල ගැටලු මතුවෙලා තිබෙනවා. කොහොම හරි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මේ නිසා අද හෑල්ලුවට පත් වෙලා තිබෙනවා.
කෙසේ නමුත් කොතරම් නීතිරීති පැනවුවද නීතියේ හිඩැස් තුළින් රිංගා යෑමට විවිධ පැතිකඩයන් සොයා ගන්නා ජාවාරම් කරුවන් ස්පා ආයතනයන් සම්බන්ධයෙන්ද මේ වන විටත් නව මාවතක් සොයා ගෙන ඇති බව වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේය.

කෙසේ නමුත් මේ වන විට ජාවාරම්කරුවන්ගෙන් ‍පොහොසත් රටක් ලෙස ශ්‍රී ලංකාව නම් දරා සිටින්නේය. ඒ ජාවාරම් අතර ස්පා ද තවත් එක් ජාවාරමක් පමණි. නීති රීති කොතෙක් පැන වුවද ජාවාරමක් මැඬපැවැත්වීම පහසු නොවන්නේය.

ශ්‍රියානි විජේසිංහ