අන්ධ පියාවත් රැකබලාගන්න ගමන් පාසැල් යන පුංචි පියුමාල්ගේ කතාව..

ගෙයි කොණක තබා ඇති ඇඳක උඩුබැලි අතට වැතිරී සිටි පත්මසිරි වහලය දෙස දෑස් යොමු කරමින් මොනවාදෝ සොයමින් සිටියේය. ඔහු ගේ දෑස් වහලයේ ඒ මේ අත දිව්වද ඇසට යමක් නොපෙනුණි. ඇසට යමක් හසු නොවුණද පත්මසිරිගේ මනසට බොහෝ දේ පෙනෙන්නට විය. ඇඳ මත වැතිර සිටි පත්මසිරි විටෙක ඇඳ මත ඉඳගත්තේය. තවත් විටෙක සුදු සැරයටියක ආධාරයෙන් සාලයේ ඔබ මොබ ඇවිද්දේය. දහවල් 2.00 පමණ වන විට ඔහු උළුවස්ස ළඟට විත් මග බලා සිටියි. ඒ තම වැඩිමහලු පුතු පාසැල ඇරී නිවසට පැමිණෙන තෙක්ය.

පත්මසිරි තිදරු පියෙකි. ඔහු මීට වසර කීපයකට පෙර මීගහකිවු‍ලේ පදිංචිව සිටි කාන්තාවක් සමග විවාහ වූවේය. ඔවුහු පුතුන් දෙදෙනකුගේ සහ දියණියකගේ සෙනෙහෙබර මව්පියෝ වූහ.

පත්මසිරි රියැදුරෙකු ලෙස සේවය කළ අතර මීට වසර කීපයකට පමණ පෙර ඔහුගේ ඇස් නොපෙනී ගියේය. වෛද්‍යවරුන් පවසා ඇත්තේ දියවැඩියා රෝගය උත්සන්න වීම ඇසේ රුධිර පීඩනය වැඩි වීම ඇස් නොපෙනී යාමට හේතුවක් වී ඇති බව ය.

පත්මසිරිගේ පාදයේ හටගත් තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔහු මීගහකියුල රෝහලට ඇතුළු විය. පත්මසිරිගේ සුවදුක් බැලීමට උදේ සවස ගිය ඇගේ බිරිය වෙනත් කෙනකු හා හාද වූයේ ඒ අතරය. දියවැඩියා රෝගය උත්සන්න වූ පත්මසිරිගේ දෑසම නොපෙනී ගියේය. ඇස් දෙකම නොපෙනෙන දියවැඩියා රෝගයෙන් පෙළෙන තම ස්වාමියාව ඇතහැර කුඩා දියණියවද රැගෙන ඇය නිවසින් යන්නට ගියාය. නිවස තුළ තනි වූ දෑස් නොපෙනෙන පත්මසිරිගේ තනි නොතනියට පිහිටට හිටියේ පුතුන් දෙදෙනාය. මව් සෙනෙහස අහිමි වූ මේ දරු පැටවුන් දෙදෙනාට ඉතිරි වූයේ දෑස් නොපෙනෙන පිය සෙනෙහස පමණි. පත්මසිරිගේ දෙවැනි පුතු ආච්චි අම්මා රැගෙන ගියේ දෑස් නොපෙනෙන පත්මසිරිගේ සෙවණේ ලොකු පුතු නතර කරමින්ය.

පිය සෙනෙහස ළඟ නතර වූ ඉෂාර මංජු පියුමාල් වයස අවුරුදු 13ක දරුවෙකි. උදෑසන 5.00ට පමණ අවදිවන පියුමාල් පියාගේ සියලුම වැඩ අවසන් කර පාසැල වෙත යන්නේය. මීගහකිවුල ජාතික පාසැ‍ලේ 13වන වසරේ ඉගෙනුම ලැබූ පියුමාල් දක්ෂ දරුවෙකි. ඒ බව පාසැ‍ලේ ගුරුවර ගුරුවරියන් පවා නිතරම කතාබහ කළේය.
මංජුල නිවසේ දවස ගෙවන්නේ කෙසේද යන්න අපි ඔහුගෙන් අසා දැන ගත්තේය.

මම උදේ පාන්දර 5.00ට විතර නැගිටිනවා. තේ හදලා අප්පච්චිට බොන්න දෙනවා. ඊට පස්සේ කන්න මොනවා හරි දෙයක් උයනවා. මම ඉස්කෝ‍ලේ යන්න කලින් අප්පච්චිගේ මුහුණ කට සෝදලා ඇඳුමක් අන්දවලා කන්න බොන්න දීලා ඉන්සියුලින් විදලා තමයි ඉස්කො‍ලේ යන්නේ. මම ඉස්කෝ‍ලේ ඇරිලා එනකල් අප්පච්චි මග බලාගෙන ඉන්නවා. මම ගෙදර ආවාම අප්පච්චිට කන්න දීලා බෙහෙත් ටික විදිනවා. ටිකක් වෙලා ඉඳලා නාවනවා. අප්පච්චිගේ රෙදි පිළි සෝදලා දාලා මමත් නානවා. ඒවැඩ ටික ඉවර වුණාම ඉස්කෝ‍ලේ වැඩ කරනවා. හවස් වෙලා රෑට උයනවා. උයලා තාත්තාට කන්න බොන්න දීලා බෙහෙත් දීලා නිදා ගන්නවා.

මව්පිය සෙනෙහස තුරුළු කර ගනිමින් ජීවිතය ගෙවීමට අවශ්‍ය මොහොතක දෑස් අන්ධ පියාට සෙනෙහස දී රැක බලා ගැනීමට මංජුලට අද සිදුව ඇත්තේය. ඔහුගේ වයසේ පසුවන දරුවන් කෙළි සෙල්ලම් කරද්දී මංජුල තම පියාට රැකවරණය සලසමින් නිවස තුළ කාලය ගත කරන්නේය.

මංජුල සිය පියා සමග ගෙවන කටුක ජීවිතය ගැන අසා දැන ගත් ගමේ පන්ස‍ලේ ලොකු හාමුදුරුවෝ දවල්ට මංජුලට හා පියාට ආහාර ටික දීමට මේ වන විටත් ඉදිරිපත් වී ඇත්තේය. මංජුල පාසැල නිමවා නිවස බලා එන අතර පන්සලට ගොඩ වී දානයට ලැබි ඉතිරි වන යමකින් බඩ පුරවා ගෙන සිය පියාගේ ආහාර කොටසට රැගෙන එන්නේ ලොකු හාමුදුරුවන්ගේ අවසරය මතය.

මංජුල උදෑසන අවදිව ඉවුම් පිහුම් කටයුතුවල නිරත වන බව දැනගත් අසල් වැසියෙකු දිනපතා උදෑසන ආහාරවේල ලබා දීමට ‍පොරොන්දු වූයෙන් මංජුලට උදෑසන ආහාරය පිසීමේ කටයුතුවලට තිත තැබිමට හැකි විය. ඔහු උදෑසන ආහාර පිසු වේලාව පාඩම් වැඩවල නිතර වීමට තෝරා ගත්තේය.
පද්මසිරි මහතා අප හා පැවසුවේ මෙවන් අදහසකි.

මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. මට කිසිම දෙයක් කර කියා ගන්න බැහැ. මට මාසෙකට රුපියල් 4000ක් විතර බෙහෙත්වලට වැය වෙනවා. ඒ මුදල් හොයා ගන්න තමයි අපහසු. ගමේ අහළ පහළ අය ඒ අයට පුළුවන් විදිහට උදව් කරනවා. අපිට හැමදාම පිනටම කන්න බොන්න ලැබෙන්නේ නැහැ. වැස්ස දවස්වලට ඒ අඩුපාඩුව තියෙනවා. ඒ දවස්වලට පුතා ගෙදර මොනවා හරි උයනවා. කුස්සි කෑල්ල හදලා නැහැ. පුතා තෙමි තෙමී තමයි උයන්නේ. මට වාවන්නේ නැහැ. ඇස් නොපෙනෙන මාව බලාගන්න පිනට මගේ පුතාට බුදු බව ලැබෙන්න ඕනේ..

පද්මසිරි තම වැඩිමහලු පුතුට බුදුබව ප්‍රාර්ථනා කරන පියෙකි. පද්මසිරිගේ මව්පියන් ළඟට හැදී වැඩෙන දෙවන පුතා පාසැල් නිවාඩුවට පියා බැලීමට එන්නේය. ඒ ආ විට පියාගේ තුරුල්‍ලේ දැවටෙමින් කාලය ගත කිරීමට ඔහු පුරුදුව සිටියි.

මවගේ සෙවණේ සිටින දියණිය ද සිය පියා බැලීමට එන්නේය. මවගේ සෙනෙහසේ හැදී වැඩුණද සිය පියා බැලීමට ආ විට ඇයද පියාගේ තුරු‍ලේ සිටීමට බොහෙවින්ම ඇළුම් කරන බව පද්මසිරි අප හා පැවසුවේ දරු සෙනෙහස හිත තුළ තදකර ගනිමිනි.

මේ අසරණ පියාව රැක බලා ගන්නා පුතුට අත්වැලක් සැපයීමට ඔබට හැකි නම් 0763953686 යන දුරකථන අංකයෙන් දැන ගත හැකිය. එසේම මීගහ කිවුල ලංකා බැංකුව සතුව පවතින් 83340386 යන ගිණුම් අංකයට බැරකළ හැකිය.

ශ්‍රියානි විජේසිංහ