රාවණ ටෙලි නිර්මාණය ගැන එහි නිර්මාණකරුවන් කරපු අනාවරණය මෙන්න

ටීවි දෙරණ මගින් නිෂ්පාදනය කරන ‘රාවණ’ ටෙලි නිර්මාණය මේ වනවිට සෑම සෙනසුරාදා හා ඉරිදා දිනයකම රාත්‍රී 8.30ට විකාශය වෙයි. මේ දේශීය ටෙලි නිර්මාණය පුංචි තිරයට ගෙනඒමට මැදිහත් වූ දෙරණ නාළිකාවේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ, සාමාන්‍යාධිකාරී (ටෙලි නාට්‍ය) චරිත් කොතලාවල හා මෙහි අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් අප සමග මෙලෙසින් සම්මුඛ වූහ.

රාවණ වැනි කතාවක් ටෙලි නාට්‍යයක් ලෙස මෙවැනි කාලයක සමාජගත කළයුතුයි කියන තීරණය ගන්නේ ඇයි?

මෙවැනි වෙලාවක කියන කාරණය සාපේක්ෂයි. අපි මේ නිෂ්පාදනය ආරම්භ කළේ මීට වසරකට පමණ පෙර. මෙවැනි විශාල පිරිවැයක් දරමින් සිදුකරන නිෂ්පාදනයක් මසකින් දෙකකින් සිදුකරන්න හැකියාවක් නැහැ. මේ නිෂ්පාදන කටයුතු නිමවූ කාලය තමයි මේ. ඒ කාලයේ මෙය විකාශය කරනවා. මේ වනවිට දේශීයත්වය, අපේකම කියන දේවල් අපෙන් ගිලිහී යන දේවල් බවට පත්ව තිබෙනවා. අපේ ඉතිහාසය දෙස බැලුවහොත්, ඒ සෑම කාලයකම වගේ විදේශීය මැදිහත් වීම් සිදුව තිබෙනවා. ඒ මැදිහත්වීම්වලට එරෙහිව අපේ දේශයේ මිනිසුන් මැදිහත්ව තිබෙනවා. එවැනි මැදිහත් වීමක් ගැන කතා කරන කතාවක් තමයි රාවණ කියන්නේ. මේ තුළින් අපේකම, දේශීයත්වය ගැන හිතන්න බොහෝ දෙනෙක් යොමු වේවි. මෙවැනි දේවල් නිසා තමයි අපි මේ තීරණය ගත්තේ.

ලංකාවේ ටෙලි නාට්‍ය කර්මාන්තයට මෙවැනි පිරිවැයක් දරා සිදුකරන නිර්මාණයක් ඔරොත්තු නොදෙනවා කියන අදහසේ නේද බොහෝ දෙනෙකු සිටින්නේ?

බජට් එකත් එක්ක මෙහෙම නිර්මාණයක් කරන්න බැහැ තමයි. එහි විවාදයක් නැහැ. නමුත් එහෙම කියලා අපට හැමදාම විදේශීය නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දෙන්න බැහැනේ. කොතරම් අපහසුතාවලට මුහුණදුන්නත් අපේ දේ අපි කළ යුතුයි. ඒ අභියෝගය භාරගන්න සූදානමින් තමයි අපි මෙය නිර්මාණය කළේ. මෙය ලංකාවේ ටෙලිනාට්‍යයකට ඔරොත්තු නොදෙන පිරිවැයක්. ඒක හරි. ටෙලිවිෂන් නාළිකාවක ටෙලි නාට්‍යයක් වෙනුවෙන් දරන්නේ නැති මුදලක් තමයි මෙය.

මෙවැනි නිර්මාණ සිදු කිරීමේ අරමුණ මොකක්ද?

ලංකාවේ ටෙලි නාට්‍ය කර්මාන්තය පවතින මට්ටමට වඩා උසස් තැනකට ගෙන ඒම තමයි අපේ උත්සාහය. අපි හරි අතීතකාමයෙන් සිටින්නේ. ටෙලි නාට්‍ය සම්බන්ධයෙනුත් එහෙමයි. ඒ කාලේ ටෙලි නාට්‍ය ගැන තමයි අපි කතා කරන්නේ. දැන් ඒ නිර්මාණ බලද්දි එහෙම රසයක් දැනෙන්නේ නැහැ. කාලයත් එක්ක අපි වෙනස් විය යුතුයි. ලෝකේ ටෙලි නාට්‍ය වර්ගීකරණය ගැන බැලුවොත්, සාර්ථකම ටෙලිනාට්‍යය වර්ගීකරණය ලෙස මේ වනවිට හඳුනාගන්නේ සෝප් ඔපෙරා නාට්‍ය. සෝප් ඔපෙරා ටෙලිනාට්‍යය දීර්ඝයි. ලෝකේ බැලුවහොත් කොටස් දොළොස්දාහක් දහතුන්දහසක් විකාශය වූ ටෙලි නාට්‍යත් තිබෙනවා. සිඩ්කොම් වැනි වර්ගීකරණය ඉන් පසු හදුනාගන්නවා. අනෙක් වර්ගීකරණය වෙන්නේ ටෙලිසීරිස්. රාවණාත් ටෙලිසීරිස් එකක් ලෙස තමයි අපි හඳුනාගන්නේ. රාවණා සීසන් දෙක තුනක් පැවතිය හැකියි. නමුත් වැඩි කොටස් ගණනක් විකාශය වෙන්නේ නැහැ. රාවණා ටෙලිසීරිස් එකක් ලෙස හදුන්වන්න පුළුවන්.

මේ නිර්මාණය සිදු කිරීමට පාදක කරගන්නා මූලාශ්‍ර ගැන කතා කළොත්?

අපේ මතය ගැන කතා කළොත් අපේ මතයට අනුව රාවණා කියන්නේ සක්විති රජ කෙනෙක්. මේ සක්විති රජු ගැන කතා කරන්න අපි වාල්මිකීගේ රාමායණය මූලාශ්‍රයක් ලෙස යොදාගත්තේ නැහැ. වාල්මිකීගේ රාමායණයේ රාවණා ගැන රචනා වන්නේ දුෂ්ට ප්‍රතිරූපයකින්. නමුත් ඇත්තටම සිද්ධ වුණේ භාරතයේ රූකඩය රාවණට පරාජය වීම. මේ කාරණාව තමයි ඔවුන්ට රාවණ දුෂ්ටයෙක් බවට පත්වෙන්න හේතුව වුණේ.

අපේ අධ්‍යක්ෂවරයා වසර දහඅටක කාලයක් රාවණ පිළිබඳ පර්යේෂණ සිදුකළ කෙනෙක්. ඔහුගේ පර්යේෂණ ඇසුරෙන් සොයාගත් කරුණු කාරණා අපි මූලාශ්‍ර ලෙස වැඩි වශයෙන් මේ නිර්මාණයට ගෙන තිබෙනවා. ඊට අමතරව ජන මූලාශ්‍ර හරහා මේ ගැන විවිධ පොත්පත් රචනා වී තිබෙනවා. එයත් පරිහරණය කර තිබෙනවා. මේ ගැන පැහැදිලි ලිඛිත ඉතිහාසයක් නැහැ. එලෙස ලිඛිත ඉතිහාසයක් නොමැති වූ විට මුලික කතාව තුළ සුළු සුළු කරුණු කාරණා වෙනස්වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ ගැන විවිධ අදහස් මත පළ කරන්න හැකියාව තිබෙනවා. එය අපි බලාපොරොත්තු වෙනවා.

මේ නිර්මාණය තුළ රාවණ සමයේ පැවැති තාක්ෂණයන් ගැනත් කතා කරනවා. මේ ගැන සඳහන් කළොත්?

අපි කරන උපකල්පන්ට අනුව රාවණාට විමාන වර්ග පහක් පැවතිලා තිබෙනවා. විමාන බලගැන්වීමේ තාක්ෂණය (බලශක්තිය) ඔවුන් තුළ තිබුණා. නමුත් බොහෝ අය රාවණගේ දඬුමොනරය ලෙස යොදාගන්නේ සෝලියස් මෙන්ඩිස්ගේ බිතුසිතුවම්වලින් ගත් සැලසුමක්. අපි ඒ කාලේ ඇතැයි සිතු තාක්ෂණය උපකල්පනය මත ගොඩනගා තිබෙනවා. අලෝකය ගන්න පළිඟු තාක්ෂණය පැවැති බවට සාක්ෂි හමුවෙනවා. පළිඟු බලගන්වා ආලෝකය ලබාගෙන තිබෙනවා. එවැනි තාක්ෂණයක් තිබූ බවට අපට හමු වූ තොරතුරු අනුව ඒ දේවල් නිර්මාණයට ඇතුළත් කර තිබෙනවා. අතීතයේ එවැනි තාක්ෂණයක් තිබූ බව අපට කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට සීගිරිය වැනි ස්ථානවලට ජලය ගෙනයෑම වැනි දේවල් පවා සිද්ධ වුණේ අතීත තාක්ෂණයත් එක්කනේ.

විදේශීය ටෙලිනාට්‍යයක් වෙනුවෙන් වෙන්ව තිබූ විකාශන කාලයක් තමයි රාවණ ටෙලිනාට්‍යය වෙනුවෙන් වෙන් කරන්න තීරණය කරන්නේ?

මුලින් මේ වෙලාවේදි විකාශය වුණේ සම්බුද්ධ ගෞතම නාට්‍යය, ඉන්පසුව අධිරජ ධර්මාශෝක නාට්‍යය විකාශය වුණා. මේ නිර්මාණ දෙකම අපේ රටට සම්බන්ධයක් තිබෙන නිසා තමයි අපි එය විකාශය කළේ. එලෙස අපි මේ නාට්‍යය විකාශය කළත්, ඒ නිෂ්පාදනය වුණේ විදේශ රටවල. මේ කතා හා සමානව ඓන්ද්‍රීය ආත්මීය බැඳීමක් තිබෙන කෙනෙක් තමයි රාවණ කියන්නේ. රාවණ අපේ දෘෂ්ටිකෝණයෙන් බලා කිසිදිනක විදේශ රටක නිෂ්පාදනය වෙන්නේ නැහැ. වාල්මිකී රාමායණය තුළ ඇති රාවණ තමයි බොහෝ අය පිළිගන්නේත්. අපි එය පිළිගන්නේ නැහැ. අපේ රටේ හිටපු වීර චරිතයක් තමයි රාවණ කියන්නේ. ඔහු ගැන අපිම කතා කළ යුතුයි. අපේ දේශීය ටෙලිනිර්මාණ වෙනුවෙන් රූපවාහිනී විකාශන කාලයන් වෙන්විය යුතුයි. එහි තවත් එක්පියවරක් මෙය..

මේ සඳහා ශිල්පීන් දායක කර ගැනීමේදී විශේෂයෙන් සැලකිල්ලක් දැක්වූ කාරණය මොකක්ද?

90෴ක්ම මේ නිර්මාණ කටයුත්තට තරුණ, තරුණියන් පිරිසක් දායක කරගෙන තිබෙන්නේ. තරුණ පරම්පරාවකට අපි ඉඩ ලබා දී තිබෙනවා. අතිදක්ෂයන් අපේ රටේ සිටිනවා. හොලිවුඩ්වල වැඩ කරන්න සමත් පිරිසක් මේ රට තුළ ඉන්නවා කියන්න පුළුවන්. එවැනි පිරිසකට තිබුණු උනන්දුව, උවමනාව නිසා තමයි මේ නිර්මාණය සිද්ධ වුණේ

අනතුරුව අප හා සම්මුඛ වූයේ දෙරණ නාළිකාවේ (ටෙලිනාට්‍ය) සාමාන්‍යාධිකාරී චරිත් කොතලාවලය.

වැඩි පිරිවැයක් දරමින් සිදු කරන මෙවැනි නිෂ්පාදන කටයුත්තකට දෙරණ ටෙලිනාට්‍ය අංශයේ මැදිහත් වීම සිදුවුණේ කොහොමද?

තීරණ ගැනීමේදී ඒ තීරණය කොතරම් නිවැරදිද යන්න තමයි අප තීරණය කළ යුත්තේ. නාළිකාවේ විධායක අධ්‍යක්ෂවරයා හා උපසභාපතිවරයා තීරණ ගන්න බියක් නැහැ. ඔවුන් හැමවිටම නවකයන් විශ්වාස කරනවා. මෙවැනි නාට්‍යයක් ආරම්භ කරමු කියන සංකල්පය ලක්සිරි වික්‍රමගේ මහත්මයාගේ. මෙහි අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් මට හමුවන විට, ඔහු ටෙලිනාට්‍යයක් හා චිත්‍රපටයක් නිර්මාණය කර තිබුණා. මේ නිර්මාණකරුවාව මම මාධව මඩවල මහතාට හා ලක්සිරි මහතාට ඉදිරිපත් කළා. පසුව අපට මූලික වුණේ පිරිවැය කියන කාරණය නෙමෙයි ඔහු මේ තේමාව ගැන කොතරම් හදාරා තිබෙනවාද කියන කාරණය. ඔහු රාවණ ඉතිහාසය ගැන අධ්‍යයනය කර තිබුණා, ඒ ගැන ගවේෂණ සිදුකර තිබුණා. ඒ නිසා නිර්මාණයට අවශ්‍ය අනෙකුත් සියලු දේ ආයතනය මැදිහත් වී ලබාදුන්නා. මෙය වසරක පමණ කාලයක් පූර්ව නිෂ්පාදන කටයුතු සිදුකළා. මෙලෙස නාට්‍යය විකාශය කිරීම දක්වාම අප මැදිහත් වෙනවා. පිටපත සැකසීමේ සිට ලක්සිරි වික්‍රමගේ මහතා, මාධව මඩවල මහතා හා මා එක්ක කටයුතු කරනවා. චරිතවලට සුදුසුම පුද්ගලයන් යොදාගන්නවා. නිෂ්පාදන අවධියේදී දර්ශන තලවලට ගිහින් එදිනෙදා ඇතිවන ප්‍රායෝගික ප්‍රශ්නවලට පවා මැදිහත් වෙනවා. එලෙස සක්‍රියව ටෙලිනාට්‍යවලට මැදිහත් වන එකම නාළිකාව දෙරණ කියන්න පුළුවන්. සංස්කරණය, සංගීතය ආදී සෑම අංශයක් කෙරෙහිම දායකත්වයක් ලබාදෙනවා. අපි සෑම අංශයකින්ම ඔවුන්ට අවශ්‍ය ශක්තියක් දුන්නා

මේ වනවිට මේ නිර්මාණය සඳහා කොපමණ පිරිවැයක් දරා තිබෙනවාද?

මේ වනවිට කොටස් හතළිහක් සදහා මිලියන පනහක් පමණ වියදම් කර තිබෙනවා. විශේෂම දේ ඒ එය විනිවිදභාවයකින් සිදුවීම. එය දැරූ පිරිවැය නිර්මාණය තුළින් අපට දකින්න පුළුවන්. ඒ වගේම සතුටු විය හැකි තවත් කාරණයක් තිබෙනවා. ඒ මේ නිර්මාණයේ රූගත කිරීම් සිද්ධවෙන්නේ ලංකාවේ. මෙහි වැඩ කරන්නේ ලංකාවේම ශිල්පීන් පිරිසක්. ඒ නිසා මේ සඳහා වියදම් කරන මුදල් ලංකාව තුළම තමයි සංසරණය වෙන්නේ.

රංග වස්ත්‍රාභරණ නිර්මාණය, පසුතලය ආදී බොහෝ කටයුතුවලට මැදිහත් වෙනවා. මේ කටයුතු සිදු වූ ආකාරය ගැන කතා කළොත්?

ඇඳුම් නිර්මාණ සඳහාම පර්යේෂණ කටයුතු කළා. ඒ අනුව තමයි එය අපි නිර්මාණය කරන්නේ. රංග වස්ත්‍රාභරණ නිර්මාණය ලංකාවේ ටෙලිනාට්‍යයකට කළ දැවැන්තම වියදම දරමින් අපි සිදු කළා. ඒ වගේම ඉතාම ඉහළ ප්‍රමිතියෙන් එය සිදුවුණා. දර්ශන පසුතල සඳහා මිලියන දහයකට වැඩි ප්‍රමාණයක් අප වියදම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් මාස හයක පමණ කාලයක් ගත වුණා. ඒ දර්ශන තල නිර්මාණයට ගැළපෙන්නේ නැත්නම්, කොතරම් පිරිවැයක් දැරුවත් එය නැවත සකසන්නට අපි කටයුතු කළා. ඒ දේවල් කරන්න ආයතනයෙන් ප්‍රතිපාදන ලබාදුන්නා. අවසානයේ හොඳම දේ තිරයේ දකින්න පුළුවන්.

නවක පිරිසක් සමග තමයි මේ නිර්මාණ කටයුත්ත සිද්ධ වෙන්නේ?

ඔවුන් නවකයන් වුණත් දක්ෂයන්. දක්ෂයන් අපේ රටේ ඉන්නවා. හොලිවුඩ් චිත්‍රපටවලට ලංකාවේ සිට ග්‍රැෆික් මියුසික් කරන නවක තරුණයන් සිටියා. ඔවුන්ට අවස්ථාවක් තමයි අවශ්‍යව තිබුණේ. ඔවුන්ට අවශ්‍ය පසුබිම අප සකසාදුන්නා. කර්මාන්තයක් ලෙස අපි මෙයට අවශ්‍ය ජීවය අප සපයා දී තිබෙනවා කියන්න පුළුවන්. අපට අවශ්‍ය වුණේ හඬ කවමින් ප්‍රදර්ශනය කරන නිර්මාණයකට සමාන මට්ටමක නිර්මාණයක් අපේ ශිල්පීන් එක්ක කරන්න. අපි එය සිදුකළා කියලා හිතනවා. විදේශීය නිර්මාණවලට වඩා අපේ ශිල්පීන් එක්ක කළ මේ දේශීය නිර්මාණය තුළින් අපේ දේශීය දේ රැකගන්නත් දේශීයත්වයට මුල්තැන දෙමින් අපේ දේශමාමකත්වය සහ රට ගැන හිතන පිරිසට ඔවුන්ගේ ආකල්ප දියුණු වීම සඳහා මේ නිර්මාණය උපකාරී වෙයි කියලා අපි හිතනවා. මේක සුබවාදී ලෙස බලන්න, මේ කර්මාන්තය වෙනුවෙන් කළ දැවැන්ත ආයෝජනයේ ප්‍රතිඵල ලබාගන්න නම් තවත් මෙවැනි නිර්මාණ බිහිවිය යුතුයි. මෙය ලංකාවේ ටෙලිනාට්‍යවල හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වෙයි කියලා අපි හිතනවා.

රාවණ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන්

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ, එහි නවය ශ්‍රේණියේදී ඇති වුණ ප්‍රශ්නයක් තමයි මේ ඉතිහාසයේ සැබෑ උරුමක්කරු විජය නෙමෙයි කියන එක. එහි ඉතිහාස පොතේ පළමු පාඩමේ විජයාවතරණයට පෙර සඳහන් කර තිබූ දේවල් එක්ක මට ගැටලුවක් තිබුණා. මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ නිමකළ පසුව තමයි රාවණා ගැන සොයන්න යොමුවෙන්නේ. ඒ ගැන සොයන්න යොමුව මේ වනවිට වසර දහඅටක් ගත වෙනවා. මගේ ගවේෂණයට මූලික කරගත්තේ ජනශ්‍රැතිය. පුරාවිද්‍යාත්මක ඔප්පු කිරීමක් ලෙස තවමත් ලංකාවේ රාවණ ඉතිහාසය නැහැ. පුරාවිද්‍යාත්මක ලිඛිත සාක්ෂි නොමැති වුණාම තිබෙන සාධකය තමයි ජනශ්‍රැතිය කියන්නේ. මෙය තමයි ප්‍රධාන සාධකය.මගේ වාසනාවට ඒ පරම්පරාවේ අවසන් පුරුක් හමුවුණා. එක්දහස් නවසිය අසූ ගණන් වනවිට ලංකාවට ටෙලිවිෂන් පැමිණෙනවා. කතාන්දර අහන එක ඉවර වෙනවා. රූපවාහිනිය කතන්දර කියන්න පටන්ගත්තම, ළමයින් සීයලාගෙන්, ආච්චිලාගෙන් කතන්දර අහන්න යොමුවුණේ නැහැ. ඊට වඩා රස කතා රූපවාහිනියේ තිබුණා. එහෙම වුණාම අම්මලා ඒ කතා කියන්න දන්නැතිව ගියා. මේ නිසා අනූ ගණන් වනවිට අපේ ජනශ්‍රැතිය නතර වෙනවා. ඉන්දියානු නාට්‍ය කලාව පැමිණෙනවා. ජනශ්‍රැතිය නතර වූ කාලයේ තමයි මම මේ සොයා බැලීම් කරන්නේ. මේ කතන්දරේ කියාගන්න විදිහක් නැතුව සීයලා ආච්චිලා ඇරියස් එකක හිටියේ. ඒ නිසා මම ඔවුන්ගෙන් මේ කතා අහන්න ලැබුණා. මේ ගැන ලියවුණ පොත්පත් කියෙව්වා. නමුත් මෙවැනි නිර්මාණයක් කරන අපේක්ෂාවක් තිබුණේ නැහැ.

මම මේ ක්ෂේත්‍රයට එන්නේ 2004දී, ඉන්පසු වරිග පොජ්ජ සිනමා නිර්මාණය කරන්න හැකියාව ලැබුණා. ඉන්පසු %ලෝකාන්තරය^ කියන ටීවී සීරිස් එක කරන්න හැකිවුණා. මේ අතර තමයි චරිත් කොතලාවල මට කතා කරන්නේ. ලක්සිරි වික්‍රමගේ මහතා හමු වූ පසු මෙවැනි නිර්මාණයක් කරමු කියලා යෝජනා කළා. එය අහම්බෙන් සිද්ධ වුණ දෙයක්. මම එය භාරගත්තා. මෙතෙක් කාලයකට රාවණා කරන්න බැරි වැඩක් කියලා බොහෝ දෙනෙක් කිව්වා. කරන්න උත්සහ කරලා අතරමග නතර වුණා. රාවණා කරන්න මාරම අමාරුයි. අපි කන කට්ට ලේසි නැහැ. හැබැයි කරන්න පුළුවන්. ඒක අපි කරලා තිබෙනවා. ඒ වගේම ලක්සිරි වික්‍රමගේ හා මාධව මඩවල යන අය මාව විශ්වාස කිරීම මට ගෞරවයක්. මෙය සාමූහික ප්‍රයත්නයක්. මේ රංගනයෙන් දායක වන සියලු දෙනාම අවුරුදු හාරදහස් පන්සියයකට පෙර මේ රටේ ජීවත්වුණ, අපි වගේම මහ පොළොවේ පයගසා ඇවිද්ද මේ රටේ ගහකොළ එක්ක හිටපු මිනිසුන්ට පණ දෙන මිනිසුන්. මේ සියලු දෙනා නිසා තමයි සාර්ථකත්වය ලබනවා නම් එය ලබා තිබෙන්නේ. මෙය සියලු දෙනාගේ සාමූහික ප්‍රයත්නයක් වෙන්නේ.

නිදුක් මදුෂික
සාරවිට පුවත්පත