ස්වාමි දියණිය මිය ගිය තැන දින 80ක් රැඳි සිටින සුනඛයෙකුගේ සංවේදී කතාව

තම ස්වාමි දියණිය මිය ගිය ස්ථානයේ දින 80 ක් රැඳී සිටි සුනඛයෙකු පිළිබඳ චීන සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

මෙම සුනඛයා ඉතා කාර්යබහුල මාර්ගයක් මධ්‍යයේ රැඳී සිටිනු දක්නට ලැබෙනවා.

‘සිනා වයිබෝ’ බ්ලොග් අඩවිය හරහා මෙම සුනඛයාගේ වීඩියෝව මිලියන දෙකකට ආසන්න පිරිසක් නරඹා තිබුණා. අගෝස්තු 21 වෙනිදා සිය ස්වාමි දියණිය මියගිය දින සිට සෑම දිනකම මෙම සුනඛයා මාර්ගයේ එක් ස්ථානයක රැඳී සිටිනු දක්නට ලැබුණා.

මිනිසුන් උදව් කිරීම සඳහා ඉදිරිපත් වූ විට සුනඛයා පළා යන බව කුලී රථ රියැදුරන් පවසනවා.

“රියැදුරන් මෙම සුනඛයාට නිතර පොඩි කෑම වර්ග දෙනවා. නමුත් අපි වාහනයෙන් එලියට බැස්ස ගමන් එයා ඉවතට දුවනවා,” රියදුරෙක් කියනවා.

“මේ සුනඛයා සහ හිමිකාරිය අතර තිබුණේ ඉතා ගැඹුරු බැඳීමක්. ඇය මැරුණාට පසු මේ කුඩා සුනඛයා එම ස්ථානයේ ආරක්ෂකයෙක් විදියට ඉන්න පටන් ගත්තා.”

“සෑම දිනකම එම පාරෙන් යන මම එයාව දකිනවා. සුනඛයන් සහ මිනිසුන් අතර තිබෙන බැඳීම සත්‍යයක්.”

නොවැම්බර් 10 වෙනිදා පටිගත කර ඇති මෙම වීඩියෝව ගැන චීන සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ අදහස් දක්වා ඇති අතර සුනඛයාගේ “විශ්වාසවන්ත භාවය” ගැන එම අදහස් අතර විශේෂයෙන් සඳහන් වී තිබුණා.

“මේ කුඩා බලු පැටවා බොහොම විශ්වසනීයයි. මගේ පවුලට අයත් සුනඛයෙක් සිටියා. ඔහු මම පැමිණෙන තෙක් සෑම දිනකම ගමේ පාසල ළඟ සිටිනවා,” එක් පුද්ගලයෙකු සඳහන් කර තිබුණා.

තවත් පුද්ගලයෙකු සුනඛයාගේ ශුභසාධනය ගැන අවධානය මතු කර තිබෙනවා.

“මේ සුනඛයා මාර්ගයක් මැද මේ විදිහට රැඳී සිටීම ඉතා භයානකයි. කව්රු හෝ හොඳ පුද්ගලයන් පිරිසකට මේ සුනඛයා හදා වඩා ගෙන ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන යන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

සිය හිමිකරු හෝ හිමිකාරිය පැමිණෙන තුරු සිටි සුනඛයෙකු චීන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධ වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

මෙම වසර මුල දී Xiongxiong නම් වැඩිමහල් සුනඛයෙකු දිනපතා සිය ස්වාමියා රැකියාවට ගොස් පැමිණෙන තෙක් ඉතා ඉවසීමෙන් යුතුව දුම්රිය ස්ථානයේ රැඳී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වුණා.

1920 වර්ෂයේ දී ජපානයේ Hachiko the Akita නම් සුනඛයා ද සිය ස්වාමියා පැමිණෙන තෙක් දිනපතා දුම්රිය ස්ථානයේ රැඳී සිටීම නිසා මහත් ප්‍රසිද්ධියට පත් වුණා.

ස්වාමියා මියගොස් වසර නවයක් ගෙවෙන තුරු ද ඔහු එම ස්ථානයට දිනපතා පැමිණ තිබුණා.