කුඩා දියණිය ගැබිණියක් කළ නරුම පියා කොටුකරගත් හැටි..

වයස අවුරුදු 9 සිට තම දියණිය ලිංගික අපයෝජනයට ලක්කරමින් සිට මේ වනවිට දියණිය සිව්මස් ගැබිණියක් කළ පියෙකු කොළඹ ප‍්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය ළමා හා කාන්තා කාර්යංශය ප්‍රකාශ කරනවා. පසුගියදා එම සිසුවිය උදරාබාධයක් හේතුවෙන් රෝහල් ගතකර සිටියදී ඇය ගැබිණියක් බවට කුලියාපිටිය මූලිකරෝහල් පරීක්‍ෂණ වලින් හෙලිවී තිබෙනවා.

සැකකාර පියා කුලියාපිටිය ඇඹව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිය දියණිය වැඩිවියට පත් අවස්ථාවේ පටන් වරින් වර එලෙස අපයෝජනයට ලක්ව තිබූ බවට වින්ධිත දියණිය විසින් ලබාදුන් තොරතුරු මත පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු සිද්ධියෙන් අනතුරුව තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක ආරක්‍ෂක සේවයේ නියැලී සිටින බවට පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකදී හෙළිවී තිබූ අතර පොලිස් ස්ථානාධිපතිවරියගේ ප‍්‍රයෝගයකින් ඒ බව බැංකුව මගින් සනාථකරගැනීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් ජෙනී අමරසිංහ මහත්මිය නියම කර තිබෙනවා.

කුලියාපිටිය කොට්ඨාසබාර පොලිස් අධිකාරි ඔශාන් හේවාවිතාරණ, සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර, මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පදුමසිරි මහතාගේ සහයෝගය සහිතව ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂිකා සාවිත‍්‍රි සිරිමාන්න, පොලිස් සැරයන් දයාරත්න(58527) කාන්තා පොලිස් කොස්තාපල් චන්දිමා යනඅය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.