කෝටි ගාණක පළාත් සභාවක් හැදුවෙ මන්ත්‍රීලට වැල බලන්නද?

    බස්නාහිර පළාත් සභාව සහ එම පළාත් සභාවේ ක්‍රියාකාරකම් පිළිබඳව මෑත කාලයේදී ප්‍රවෘත්ති රැසක්ම ශ්‍රී ලංකාව පුරා පැතිරී ගියේය. ඉන් ප්‍රධානතම ප්‍රවෘත්ති කිහිපයක් ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වූයේ මීට පෙර එවැනි සිද්ධි වාර්තා නොවූ පසුබිමක් නිසාවෙනි.

    බස්නාහිර පළාත් සභාවේ වර්තමාන මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ නායකත්වයෙන් යුතුව බස්නාහිර පළාත් සභාව බත්තරමුල්ල නගර ආසන්නයේ සුපිරි ගොඩනැගිල්ලක් බවට පත්වූයේ ඉතා උසස් මට්ටමිනි.

    මෙම ගොඩනැගිල්ල එම ස්ථානයේ ඉදිකිරීම තුළින් බස්නාහිර පළාතේ ජනතාවට නව අත්දැකීමක් එක්කළා මෙන්ම ඔවුන් හසුව සිටි තදබදයට විසඳුමක්ද ලැබුණු බව බොහෝදෙනාගේ මතය බවට පත්වුණි. ඒ වෙන කිසිවක් නිසා නොව, පළාත් සභාව විසින් යම් කටයුත්තක් කරගැනීම සඳහා පැමිණෙන ජනතාවට තදබදයකින් තොරව සිය කටයුත්ත කරගැනීමට හැකිවීමයි.

    මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසුව පළාත් සභාවේ මැති ඇමැතිවරු සහ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආසන සඳහා රුපියල් කෝටි ගණනක් වැයකර එය විදේශ රටකින් ආනයනය කිරීම මෙන්ම පළාත් සභා ගොඩනැගිල්‍ලේ ප්‍රධාන දොරටුව සඳහා තවත් රුපියල් කෝටි ගණනක් වැය කිරීම මහත් ආන්දෝලනයකට ලක්විය.

    එහිදී ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේ කාලීන අවශ්‍යතාවකට අනුව මෙය ඉටුකළ බවයි.
    ජනතා සහන රැසක් ලබා ගැනීමට ජනතාව බලා සිටියදී පළාත් සභාව මේ ආකාරයෙන් මහජන මුදල් වියදම් කරමින් ක්‍රියා කිරීම පරිණත දේශපාලනඥයන් රැසකගේ විවේචනයට ලක් වූවා මෙන්ම ජනතාවගේද දැඩි විරෝධතාවක් සමාජ මාධ්‍යයෙන් එල්ල විය.

    පුවත් රැසක් මේ අයුරින් නිර්මාණය කළ බස්නාහිර පළාත් සභාව අවසන් වරට නිර්මාණය වූ පුවත ඉතා කනගාටුදායක එකක් බව පසක් කළ යුතුය.

    බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල ඉදි කිරීමෙන් පසු පැවැත්වූ සභා වාරයේදීම එහි මන්ත්‍රීවරුන් තිදෙනකු අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹූ බවට චෝදනා එල්ල කෙරිණි. මේ පිළිබඳව ඉකුත් 2018.11.20 වැනිදා ජාතික පුවත්පත් රැසකම ශීර්ෂ පාඨය බවට යොදාගෙන තිබිණි.

    බස්නාහිර පළාත් සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් ඉකුත් (19) වැනිදා ඉදිරිපත් කරන විට මන්ත්‍රීවරු කිහිප දෙනකුම ඔවුන්ගේ මේසයේ සවිකර තිබෙන පරිගණකයෙන් අසභ්‍ය දසුන් ඇතුළු විවිධ වැඩසටහන් නරඹමින් සිටිනු දැකගත හැකි වූ බව පුවත්පත් රැසක්ම වාර්තා කළේය.

    මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ වීඩියෝවක්ද පළ කෙරෙන අතර සමාජ ජාලා රැසකම මෙය ප්‍රදර්ශනය කෙරිණි.
    එම වීඩියෝවට අනුව පළාත් සභා මන්ත්‍රීවරු තිදෙනකු අසභ්‍ය දර්ශන නරඹන අයුරු පෙන්නුම් කෙරෙන අතර ඔවුන් කවුරුන්ද යන්න හරියාකාරව නොපෙනිණි.

    එහෙත් මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනකු වන ගුණසිරි ජයනාත්, කීර්ති කාරියවසම් සහ සුමිත් ද සොයිසා යන මන්ත්‍රීවරුන් තිදෙනාටය.
    මේ සම්බන්ධයෙන් අප එම මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් විමසීමක් කළෙමු.

    මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා.
    මේක සම්පූර්ණ බොරු චෝදනාවක්. මම මෙවැනි දර්ශනයක් නැරඹුවේ නැහැ. මගේ පරිගණකය පණගන්වලාවත් තිබුණේ නැහැ. මම එහායින් හිටිය මන්ත්‍රීතුමන් සමග මහ කතාබහක යෙදිලා සිටියා.

    මන්ත්‍රී සුමින්ද සොයිසා මහතා.
    මම මෙය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. මම ඒ තරම් බොළඳ පහත් මානසිකත්වයක් ඇති කෙනෙක් ‍නෙවෙයි. මම හිටියේ ඩෙංගු මදුරුවන් සම්බන්ධව කතාබහක. මම ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු තර්කය මට ජයග්‍රහණය කිරීමේ වුවමනාව තිබුණේ. අඩුම තරමේ මගේ පරිගණකයවත් පණගන්වලා ‍නෙවෙයි තිබුණේ.

    මන්ත්‍රී ගුණසිරි ජයනාත් මහතා.
    මේක සම්පූර්ණයෙන්ම ප්‍රචාරය කරන්නේ අප මන්ත්‍රීවරුන් අපහසුතාවට පත්කිරීමේ අරමුණින් බව පැහැදිලි කරුණක්. අනික මා මෙය තරයේ ප්‍රතික්ෂේප කරනවා.

    මගේ දේශපාලන ජීවිතයට අවුරුදු විස්සකට වඩා වැඩියි. ඒ ගමන තුළ කිසිම කළු පැල්ලමක් නැහැ. අපි දේශපාලනය කරන්නේ ඉතාමත් යහපත් සිතින්. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මේ ගැන හොඳින් දන්නවා.

    චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරු තිදෙනා එසේ ප්‍රකාශ කළද වීඩියෝ නරඹන දර්ශන ඇතුළත් වීඩියෝවල සිටින මන්ත්‍රීවරුන් තිදෙනා කවුරුන්ද යන්න ලෝකයා හමුවේ තැබිමට අප බලා සිටින්නෙමු.

    මේ තත්ත්වය කෙසේ වුවත් මහ ඇමැතිවරයා එදා ඉදිරිපත් කළ 2019 වර්ෂයට අදාළ අයවැය ප්‍රකාශනයේ ඇස්තමේන්තු මුළු වියදම රුපියල් මිලියන 81,261ක් වන අතර, එය 2018 වසරට වඩා රුපියල් මිලියන 9635කි.
    ඇස්තමේන්තුගත වියදමින් රුපියල් මිලියන 8,465 පුනරාවර්ථන වියදම් වන අතර රුපියල් මිලියන 1170ක් ප්‍රාග්ධන වියදම් වේ.

    මුළු වියදම පියවා ගැනීම සඳහා රජයෙන් ලැබේ යැයි අපේක්ෂිත ජාතිය ගොඩනැගීමේ බදු සහ මුද්දර ගාස්තු රුපියල් මිලියන 30,624කි. රජයේ ප්‍රධාන ලෙස පළාත් සභාව රුපියල් මිලියන 22,217ක් බලා‍පොරොත්තු වෙයි. පළාත් සභාව විසින් රැස් කිරීමට බලා‍පොරොත්තු වන ආදායම රුපියල් මිලියන 26,180ක් වන අතර පෙර ඉතුරු මුදල් රුපියල් මිලයන 2260ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කර තිබේ.

    මේ තරම් විශාල මුදලක් පිළිබඳව අයවැය විවාදයක් ආරම්භ කරන අවස්ථාවේ මන්ත්‍රීවරුන් මොන තරම් නම් අවධානයෙන් සිටිය යුතුද යන්න පිළිබඳව පාඨක ඔබට හැඟෙනු ඇත.
    එහෙත් මෙහිදී තවත් සුවිශේෂී සිද්ධීන් කිහිපයක්ම වාර්තා වෙයි.

    සභාව ආරම්භ කර විනාඩි කිහිපයක් ගතවනවාත් සමගම මහ ඇමැතිවරයාගේ ප්‍රකාශනය අභිබවමින් ගීතයක කොටසක් සභාවටම ඇසිණි. ඒ මන්ත්‍රීවරයෙක් තමන්ගේ මේසය මත වූ පරිගණකයෙන් යූටියුබ් ඔස්සේ ගීතයක් ඇසීමට ගත් උත්සාහයක් නිසාවෙනි. වහාම ක්‍රියාත්මක වූ මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා තම කතාව නවත්වා එය නතර කරනතුරු බලා සිටියේය. එහෙත් විනාඩි කිහිපයක්ම යනතුරු මන්ත්‍රීවරයාට එම වීඩියෝව නතර කරගැනීමට නොහැකි විය.

    බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි මහල් පහළොවකින් යුත් ගොඩනැගිල්‍ලේ දොළොස්වැනි මහ‍ලේ මෙම සභා ශාලාව පිහිටා තිබේ.

    මෙහි මන්ත්‍රීවරු, ඇමැතිවරු ඇතුළු පිරිස අසුන් ගන්නා සෑම ආසනයක් ඉදිරිපිටම පිහිටා ඇති මේසයේ ඉතා උසස් තත්ත්වයෙන් යුතු පරිගණකයක් සවිකර ඇත්තේ සභා ශාලාව තුළ ඇති ඕනෑම ශබ්දවාහිනී යන්ත්‍රයක් සමග සෘජුව සම්බන්ධ කරමින් බවත් මේ තුළින් ඕනෑම තොරතුරක් ඉතා කෙටි කාලයකින් සභාවට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් බස්නාහිර පළාත් ‍ලේකම් ප්‍රදීප් යසරත්න මහතා රිවිරට පැවසීය.

    ඇත්තටම මේක ඉතා හොඳ ක්‍රමයක්. විශේෂයෙන්ම පරිසර හිතකාමී වැඩසටහනක්. මේ තුළින් කඩදාසි සභාවට ගෙන ඒම සියයට සියයකින්ම නැවැත්විය හැකි බවද ප්‍රදීප් මහතා අවධාරණය කළේය. ඔහු පළාත් සභා ගොඩනැගිල්‍ලේ නව ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙසේද කීය.

    ලෝකයේ බොහෝ දියුණු රටවල පාර්ලිමේන්තු තුළ සිදුකරන ක්‍රියාදාමයක් තමයි මේ ක්‍රමය. අපි මේ තුළින් බලා‍පොරොත්තු වෙන්නේ නව ලෝකයට අනුව අප හැඩ ගැසීමයි. වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වඩා තාක්ෂණයෙන් යුතු මෙවලම් රැසක් අපි බස්නාහිර පළාත් සභාවට ලබාදීලා තිබෙන්නේ. ඒ සඳහා කෝටි ගණනින් ජනතාවගේ මුදල් වැයකර ඇත්තේ මතු පරම්පරාවේ යහපත සඳහායි.

    අපේ සෑම මන්ත්‍රීවරයකුම මීට පෙර සභාවේදී පැවැත්වූ කතා අප පටිගත කරලා මේ පරිගණකවලට ඇතුළත් කරලයි තිබෙන්නේ. ඒ වගේම සභාව පවත්වන ආකාරය ඇතුළු න්‍යාය පත්‍රයද මෙහි ඇතුළත් කර තිබෙනවා. ලිපි‍ලේඛනවලින් සිදුකරන කරුණු රැසක්ම පරිගණකගත කරලයි තිබෙන්නේ.

    ලෝකයේ ඕනම රටක සිදුවූ දෙයක්, මාධ්‍ය වාර්තාවක්, වැදගත් කරුණක් තත්පර ගණනකින් සභාවට ඉදිරිපත් කරන්න හැකියාව මන්ත්‍රීවරයකුට ලැබිලා තිබෙනවා.

    අපි සෑම මන්ත්‍රීවරයකුටම මේවා පරිහරණය කිරීම පිළිබඳව වැඩසටහන්, වැඩ දිනයන් වෙන් කර පුහුණුව ලබාදී තිබෙනවා. ඒ නිසා අනාගත පරපුරට මේ ක්‍රමවේදයන් ඉතා වැදගත් වනු ඇතැයි අපගේ බලා‍පොරොත්තුවයි.

    දැනට මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ උපදෙස් පරිදි අප පරීක්ෂණයක් පවත්වනවා.

    විශේෂයෙන්ම ටෙලිකොම් ආයතනයේ සහාය ඇතිව පරිගණකයෙන් අසභ්‍ය දර්ශන පැවැත්වූවාද යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කරනවා. ඒ හරහා අපට හැකිවේවි මෙහි සත්‍ය අසත්‍යතාව සනාථ කරන්න.

    මන්ත්‍රීවරුන් හට ජනතා මුදල්වලින් මෙම පහසුකම් ලබාදී ඇත්තේ අන්තර්ජාතික ලෝකය කරා අපද ගමන් කිරීම වෙනුවෙනි. මින් ඉදිරියට බස්නාහිර පළාත් සභාවේ කුමක් වෙන්නේද යන්න ඉතා විමසිල්ලෙන් ජනතාව බලා සිටිනු ඇත.

    භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්
    රිවිර පුවත්පත