යහපාලනයේ රෙද්ද ගලවමින් කථානායක වරයා ගැන ලියූ ලිපිය

==කථා නායක නම් සීතාඹර සළුවේ එල්ලී ගොඩ යන්නට හදන, විදේශ ගැති රට වනසන හවුල පැන්නීමට රටට ආදරය කරන මිනිසෙක් ලෙස එරෙහි විය යුතුය…==

සීතාඹර සළුව යන්න අමුතුවෙන් විස්තර කල යුතු නොවේ.. ඉතිහාසයේ මෙන්ම වර්තමානයේද සීතාඹර සළු පොරවා ගත් දහස් ගණනකි. නමුත් සීතාඹර සළුවක්වත් නැතිව, ඒ නැතිබව සක්සුදක් සේ දැනගෙනම, සීතාඹර සළුවක් තිබෙනවායැයි සිතාගෙන කටයුතු කරන පුද්ගලයෙක් ලෙස වත්මන් කතා නායක කරු ජයසූරිය හැඳින්විය යුතුය. පිරිසිදු දේශපාලකයෙක් ලෙස නම් දරා සිටි ඔහු, මේ වසර තුන තුල සිදු කල අනන්ත පක්ෂග්‍රාහී ක්‍රියා නිසාම තුච්ඡ නින්දිත කථානායක වරයෙක් ලෙස ඉතිහාසයට එක් වී අවසන්‍ ය. ඇයි මම එහෙම කියන්නේ…?

1994 මහ මැතිවරණයේ දී ආණ්ඩුවට හිමිවුනේ ආසන 105කි. නමුත් එවකට සිටි කථානායකවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට ලබා දුනි. අපි එය ඈත ඉතිහාසය ලෙස බැහැර කරමු. සමච්චලයට ලක් විය යුතු කරුණ වනුයේ 2015 ජනවාරියයි. ආසන 52ක් හිමිව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයා විය. මහජන මතය ගැන සලකා මහින්ද රාජපක්ෂ කඳවුරේ සියල්ල එම තීරණයට එකඟ විය. මහ ජනතාව ලක්ෂ 62ක ජන වරමක් ලබා දුන් කල, ඒ ජනපති ඉටුකල තීන්දුවට ගරු කරමිනි. ආසන 52ක් හිමිව තිබූ ආණ්ඩුවට මහින්ද රාජපක්ෂගේ සහෝදරයා වූ චමල් රාජපක්ෂ කථානායක වරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතරය ලබා දුන්නේ විධායකයේ තීරණයට ගරු කරමිනි.

රටේ නීති පද්ධතිය තුල විධායකය ව්‍යවස්ථාදායකට ඉහලින් ඇති බව ඉතා පැහැදිලි සත්‍යයකි. අපක්ෂපාතී යැයි කියා ගන්නා කථා නායකවරයාගේ ඉතා පැහැදිලි රනිල් වික්‍රමසිංහ රැකීමේ මෙහෙයුම මේ වන විට ක්‍රියාත්මක වී ඇත. එය සාධරණයැයි තර්ක කරන්නට හේතු අවශ්‍ය වේ. හොරු අල්ලා හිරකරමින්, ලැම්බෝගිනි, හෙලිකොප්ටර් එලි කරමින්, ෆ්‍රී වයිෆයි ලබා දෙමින්, පුංචි කාර් ලබා දෙමින්, රැකියා දස ලක්ෂයක් ඇති කරමින් කොටින්ම පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කරමින් ක්‍රියා කලා නම් මේ ක්‍රියාවලිය සාධාරණයැයි කියන්නට තර්ක කරන්නට හෝ තිබිණ. නමුත් මහ බැංකුව හොරා කමින්, රුපියල බාල්දු කරමින්, ජනතාව මත බදු බර පටවමින්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණ කල් දමමින්, පැවැත් වූ මැතිවරණයත් අන්ත පරාජ වෙමින් මහජන ප්‍රසාදය අහිමි කරගත්, අවසානයට රටේ ජනධිපතිගේ විශ්වසයද අහිමි කරගත් අගමැති වරයෙකු වූ රනිල් වික්‍රමසිංහ රැක ගැනීම වෙනුවෙන්, කථා නායක ධූරය අවභාවිත කිරීම කෙතරම් සාධාරණ දැයි තර්ක කිරීම පවා කල හැක්කේ, මේ මාතෲ භූමිය පිළිබඳව අල්ප මාත්‍ර හැඟීමක් නොමැති අයෙකුට මිස වෙන කාටද?

කෙසේ වුවද, මේ ක්‍රියාවලිය අවසන් විය යුතුව ඇත. අගමැති සිහිනයෙන් මිදී, තම බෑණනුවන්ට පක්ෂ නායකත්වය හිමි කර දීමේ ජුගුප්සාජනක වෑයමින් මිදී, රට වෙනුවෙන් හිතන කරු ජයසූරිය වරයෙක් රටට අවශ්‍යව ඇත. එහෙම මිනිසෙක් පෙනෙන මානයක නැත. ඒ නිසා ඒ පිළිබඳව දශමෙක බලාපොරොත්තුවක් තබා ගැනීමේ ප්‍රයෝජනයක්ද නැත.

රට වෙනුවෙන් වූ අවසන් බලා පොරොත්තුව රැඳී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මතය. නමුත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ප්‍රකාශය නිසා ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳ විශ්වාසය ඉතා දැඩිව හානි වී තිබේ..

මේ අනුව අවසන් කණගාටුව රට පිළිබඳවය. එය එතරම් ඛේදනීය තත්ත්වයකි.