එජාපයේ ඔටුණු නොපලන් කුමරා අනුර කුමාර දිසානයක

එජාපයේ ඔටුණු නොපලන් කුමරු..!

“අපේ පොදු අපේක්ෂකයා දිනවලා ‍යූ.එන්.පී ආණ්ඩුවක් හදන්න ලොකුම කන්ට්‍රිබියුෂන් එක ඕන ඔයාලගෙන්”

“මල්ලි.. මහින්දට විශ්වාසභංගයක් ගේන්න ඕන, හැබැයි යූ.එන්.පී එකෙන් නැතුව වෙන පක්ෂෙකින් වැඩේ වෙන්න ඕන”

“මචන්.. බැඳුම්කරෙන් අපි පොඩ්ඩක් නෑවා. මහින්දට හොරා කියලා බැඳුම්කරේ පොඩ්ඩක් යට ගහපන්”

“මහින්දට විරෝධය දක්වලා ජේ.වි.පි එකෙනුත් හොද උද්ඝෝෂණ ටිකක් වෙන්න ඕන රට වටේම, සල්ලි ප්‍රශ්නයක් නෑ”

“තාජුඩීන්, ලසන්ත, රතුපස්වල මිනිස්සුන්ට අමතක වීගෙන එනවා මිස්ටර්.. ප්‍රෙස් එකක් තියලා හොද කතාවක් කරන්න”

“පනතක් තියෙනවා සම්මත කර ගන්න, අපේ කට්ටිය කොළඹ නෑ, ඔයාලා අද අපිට අත උස්සන්න”

“සිරිසේනගේ කොන්ද කඩලා ලීඩ‍ර්ට බලය දෙන්න අලුත් ව්‍යවස්ථාවක් හැදුවා. ඔයාලා ඒක ඔයාලා හදපු විදියට පාර්ලිමන්ට් එකට ගේන්න”

“ෆෙඩරල් දෙන්න කියලා ඉන්ඩියා ප්‍රෙෂර් කරනවා. ඔයාලගේ නෙක්ස්ට් ජොබ් එක ෆෙඩරල් කියන්නේ හොද දෙයක් කියලා මතයක් හදන එක”

“මිස්ටර් වික්‍රමසිංහට බහුතරය නෑ, හැංගිලා වැඩ කළා ඇති, දැන් එළියට ඇවිත් අපිට බහුතරය දෙන්න එකතු වෙන්න”

“අපේ පෝස්ටර් ටිකක් තියෙනවා, අනිද්දා උදේ වෙද්දි රට පුරාම වැදිලා තියෙන්න ඕන, මෙන්න ඔයාලගේ කොස්ට් එක”

සිය පක්ෂයට උවදුරක්, කරදරයක් සිදුවූ සෑම මොහොතකම එජාප නායකයන් සොයා ගියේ ඔහුය. එජාප නායකයන්ගේ එම සෑම ඉල්ලීමකට, සෑම අණකටම ඔහුගේ සරල පිලිතුර “හා සර්” යන්න ය. එජාපය වෙනුවෙන් ඔහු ලඟ “නෑ/බැහැ” පිළිතුරු නැත. සැබැවින්ම 2010 වසරේ සිට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩිපුරම දරදිය ඇද, කැපවූයේ ඔහුය. සිය පක්ෂය වෙනුවෙන් කළ සේවයට තවමත් එජාප පාක්ෂිකයන්ගෙන් සුදුසු ප්‍රශංසා නොලැබූ ඔහු අනුර කුමාර ය.

ඔව්! එජාපයේ ඔටුණු නොපලන් කුමරු අනුර කුමාර දිසානායක ය.

එජාපය සහ ජවිපෙ අතර තිබූ ඓතිහාසික හතුරුකම හේතුවෙන් සහ ආරම්භක විජේවීර සහ සාමාජිකයන් හැට දහසක් ඝාතනය කිරීම හේතුවෙන් ජවිපෙ, එජාපය වෙනුවෙන් සේවයේ යෙදවීම අනුරට පහසු ක්‍රියාවක් නොවන්නට ඇත. නමුත් අනුර එජාපය වෙනුවෙන් ඒ සියලු දුක් ගැහැට විඳ අභියෝගය ජය ගත්තේය. සෝමවංශ වැනි හිටපු පක්ෂ නායකයන් අනුරට විරුද්ධ විය. අනුරට විරුද්ධ වූ ජවිපෙ අභ්‍යන්තර කාඩරය සහ නායකයන් පෙරටුගාමීන් ලෙස පක්ෂයෙන් වෙන් වී ගියේය. ඒ කුමකින් හෝ අනුර සැලුනේ නැත. අනුර කන්න දුන් අත හපා කෑවේ නැත. එජාප සභාපති සහ නායක රනිල් වික්‍රමසිංහගේ ලඟම සගයෙක් වූ මලීක් සමරවික්‍රමගේ වචනයට හිලෑ වූ ඔහු කිසිදු මොහොතක හෝ එජාපය හැර ගියේ නැත.

ඔහු සමග ඉතිරි වූ විජිත හේරත්, සුනිල් හදුන්නෙත්ති, බිමල් රත්නායක වැනි කිහිපදෙනා සමග පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්දේය. අනුරලා කළ සේවයට කෘතගුණ සැලකුවේ එජාපයේ මලීක් සමරවික්‍රම ය. කෙසේ වෙතත් අනුරගෙන් ඉටු වූයේ කෝටී පන්සියයක, හයසියයක චෙක් පතකට සීමා කළ නොහැකි සේවයක් ය. ඒ අතින් බලන කල අනුර කුමාර එජාපයෙන් ලබා ගත් එක සතයකට හෝ ණය නැත.

පක්ෂය වෙනුවෙන් අනුරලා කළ සේවයෙන් අඹ මල් රේණුවක සේවයක් එජාපයට සිදු නොකළ සජිත් ප්‍රේමදාසලා අද එජාපයේ නායකත්වයට වලි කමින් සිටියි. නමුත් එජාපයට සේවය කිරීමට අනුරලාට විජිතලාට තනතුරු, වරප්‍රසාද, වරදාන හෝ ප්‍රශංසා අවශ්‍ය නැත.
එජාපයට කළ සේවයට අනුරට හිමි වූයේ මසකට වරක් චෙක් පත් කිහිපයක්, කිසිඳු ජවිපෙ නායකයෙකුට නොවූ සැප පහසු ජීවිතයක් සහ ‘රතු අලි පැටියා’ යන නාමය පමණකි. නමුත් අනුර එජාපයෙන් වෙන් කරවීමට එම චෝදනාවන්ට කිසිලෙසකින් හෝ නොහැකි විය.

හෙට දිනත් මේ සදාදරණීය මිනිසා කිසිදු ප්‍රශංසාවක් අපේක්ෂා නොකරම එජාපය වෙනුවෙන් කැපවී දහඩිය කඳුලු හෙලනු ඇත. උගුර ලේ රහ වෙනතුරු වේදිකා දෙදරවමින් මහින්ද පතුරු ගසනු ඇත. එජාපයේ පනත් සම්මත කර දෙමින් එජාපයට අවශ්‍ය සෑම කටයුත්තක්ම කර දෙනු ඇත.

සැබැවින්ම අනුර කුමාර දිසානායක එජාප පාක්ෂිකයන්ගේ ගෞරවයට පාත්‍ර විය යුතු එක්සත් ජාතික පක්ෂයේ ඔටුණු නොපළන් කුමරු ය.

– ඉශාන් ජයසූරිය