චන්දිමලා වගේ දේශපාලකයෝ අතුගාමු..

දේශපාලන හිඟන්නන් අතු ගා දමා, කඳවුර ශක්තිමත් කරන රටට ආදරය කරන මිනිසුන් සමඟ එක්වෙමු.

දේශපාලනිකව කඳවුරක් ලෙස පෙනී සිටිමේදී අදහස් ප්‍රකාශ කරන විට යම් යම් සීමාවන්ට යටත් වන්නට සිදු වූවත්, පහත දැක්වෙන ඡායාරූපය දුටු විට හෘද සාක්ෂියට එකඟව මේ අකුරු ටික ලිවීමට අකමැත්තෙන් වුවද කැමැත්තෙන් ඉටා ගතිමි.

2015 ජනවාරි 8 දින මහින්ද රාජපක්ෂ මැතිතුමන් පරාජය වී ගෙදර ගිය පසු එතුමා වටා සිටි බොහෝ දෙනා එතුමාගෙන් ඈත් වීය. එතැන් පටන් එතුමා සමඟ සිටි ප්‍රමුඛ පෙලේ කීප දෙනා නම් වශයෙන් කීමට පවා අපට හැකියාවක් ඇත. 2015 අගෝස්තු 17 මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95ක් ලැබී ප්‍රභල විපක්ෂයකට හිමිකම් කියූවත්, බොහෝ මන්ත්‍රීවරු තම ජන වරමට පයින් ගසමින් ජාතික සම්පත් විකිණූ, කොටි ත්‍රස්තයින්ට අපමණ අගයක් ලබා දුන්, රටේ ආර්ථිකය බිංදුවටම ඇද දැමූ, රනිල් වික්‍රමසිංහගේ දුර්දාන්ත ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දීම උදෙසා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව හැරදා ගියෝය. ඒකාබද්ධ විපක්ෂය නම් වූ රටට හිතැති බලවේගයට එදා තම හෘද සාක්ෂිය එක් කලේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු පමණය.

මගේ මතකය 2016 මැයි දිනය දක්වා දිව යයි. කිරුළපන ක්‍රීඩාංගණයේ පැවති මෙම මැයි දිනයට සංවිධානය කරන්නට අප කඳවුර වෙනුවෙන් සිටියේ ඉතා අල්ප සාමාජිකයන් පිරිසකි. එයින් ප්‍රමුඛම කාර්‍ය භාරය ඉටු කලේ Bandula Saman Kumara සහෝදරයාගේ නායකත්වයෙන් යුක්තව Nadeera Manoj Kumara, Sanjaya Kumara Weligama, Saman Kumara, Premantha Gamage, Kamal Gomes වැනි වෘත්තීය සමිති නායකයන් විසිනි. මැයි රැළියෙදී කම්කරු ජනතාව වෙනුවෙන් සිය හඬ අවදි කල බන්දුල සමන් කුමාර සහෝදරයා රැස්වීම අවසන මට කියූ කතාව අදටත් මගේ මතකයේ ඇත. “අභියා, පිච්චියටම ඉවර වුනා, හෙට ගෙදරට කන්න හාල් ඇටයක්වත් ගෙනියන්න අතේ සතයක් නෑ” ඇත්ත, වේදිකාවේ සිට ප්‍රදර්ෂණ රථ දක්වාම මොවුන් දැඩි කැප කිරීමකින් තම කාර්‍යය මනාව රට වෙනුවෙන් ඉටු කර තිබිණ.

2016 මැයි 02 තම සේවා ස්ථානයේ රාජකාරියට ගිය බන්දුල සමන් කුමාර සහෝදරයාට ඒ කරපු සත් කාර්‍යය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලැබී තිබුනේය. ඒ, මෙම ඡායාරූපයේ සිටින Chandima Weerakkody එවකට ඛණිජ තෙල් අමාත්‍යවරයා විසින් එක් පෑන් පහරකින් බන්දුල සමන් කුමාරව නොකර වරදකට හසු කරමින් වැඩ තහනම් කර ගෙදර යැව්වේය. එදා සිටන් අද වෙනකන් බන්දුල සමන් කුමාර තවමත් ගෙදරය.

ඛණිජ තෙල් සේවකයෝ අත්වැල් බැඳ ගත්හ. තම වෘත්තීය සටන් නායකයා වෙනුවෙන් තමන්ගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරමින් අද වෙනතුරු පියෙකු සේ බලාගනිමින් සිටී. සෙනෙහෙබර බිරිඳෙකුගේ ස්වාමි පුරුෂයෙක්, සිඟිති දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වූ බන්දුල සමන් කුමාරට තම පවුල් බර දශමෙකට දැනෙන්නට ඛණිජ තෙල් සේවකයින් ඉඩ තැබුවේ නැත. ඒ වෙනුවෙන් ඔවුන්ට ජාතියේ උත්තමාචාරය පිළිගැන්විය යුතුය.

චන්දිම වීරක්කොඩිට දුරකථන ඇමතුම් ඒ කාලයේ නොයෙක් දෙසින් ගලන්නට විය, අප කඳවුරේ දේශපාලනයේ ඉහලම නායකත්වය වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන් පවා බන්දුල සමන් වෙනුවෙන් කතා කල බැව් ආරංචි විය. චන්දිම තම තීරණය වෙනස් කලේ නැත. බන්දුල සමන් කුමාරද, රට වෙනුවෙන් වූ තම යුතුකම දශමයකින් අත හැරියේ නැත.

හම්බන්තොට වරාය චීනාට දෙන වෙලාවේදී, ජාතික සම්පත් විදේශීයකරණය කිරීමට එරෙහිව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයට නායකත්වය දුන්නේ බන්දුල සමන් කුමාරය. වැඩ තහනම, රැකියාවෙන් නෙරපීම වැනි තැනකට තල්ලු වෙන්නට ඇති අවධානම පවා පසෙක ලා මේ නිර්භය තරුණයා, කොලොන්නාව නිමාව අසල සිට සහෝදර සේවකයින් අමතා කිවූ වචන කිහිපයක් මගේ හද පත්ලේ කිඳා බැස ඇත.

“සහෝදරවරුනි, මේ අධි පීඩන වතුර බව්සර් පෙනි පෙනී, මේ කඳුලු ගෑස් විදින පෙනි පෙනී, මේ කලු පාට ඇදන් ඉන්න පොලිස් කාරයන්ගේ බැට්න් පොලු පෙනි පෙනී, මේ තුවක්කු පිස්තෝල පෙනි පෙනී, කොටිනම ඉදිරි පැය දෙක තුන ඇතුලත අපේ මරණය පෙනි පෙනී අපි මේ සටන් කරන්නේ අපේ පඩියවත් දීමනාවවත් වැඩිකරගන්න නෙවෙයි.. අපේ රටේ අපට හිමිවෙලා තිබෙන ජාතික සම්පත්, මේ රටේ ඉපදිලා ඉන්න දරුවන්ට විතරක් නෙවෙයි, ඉපදෙන්න ඉන්න දරුවන්ටත් උරුම කරලා දීම පිණිසයි. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට අපි කියනවා අපේ මළගම උඩින් හරි කමක් නෑ මේ රටේ ජාතික සම්පත් ටික රැකලා දීපියව්…”

මේ කථාව කියලා පැය භාගයක් යන්න වුනේ නෑ.. බන්දුල සමන් කුමාර සහෝදරයාව බල්ලෙක් වගේ ඇදගෙන පොලීසියට අරන් ගියා.. වැලිකඩ පොලීසිය පැය දෙකක් වැහුවා.. කිසිවෙකුට ඇතුලට යන්න දුන්නෙ නෑ.. පසුව ඇතුලට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වර්ජකයින් ප්‍රකාශ කලේ පොලීසිය තමන්ට නොසෑහෙන්න පහර දුන් බවයි..

ඒ වෙලාවෙදිත් මේ දෙකට නැමිලා ඉන්න චන්දිම වීරක්කොඩිගෙ කට ඇරුනේ නෑ.. කට පියාගෙන රනිල්ට සහාය දෙන ගමන් ඇමති වරප්‍රසාද භුක්ති විඳිමින් සැපේ හිටපු දේශපාලන ගණිකාවක් තමයි චන්දිම වීරක්කොඩි කියන්නේ..

අනතුරුව ඛණිජ තෙල් සේවක සහෝදරයින් තමන් වෙනුවෙන් දරන බර අඩු කිරීමට ඉටා ගත් බන්දුල සමන් කුමාරගේ දෑතට ආවේ කැත්ත උදැල්ලය. කුරුණෑගල මහ ගෙදර ඉඩමේත්, කඩවත තම නිවස යාබදව තිබෙන ඉල්ලාගත් ඉඩම් දෙකකත් ඔහු එළවලු වැව්වේය, කෝමාරිකා වැව්වේය. එවරද ඛණිජ තෙල් සේවකයෝ ඔහුව තනි කලේ නැත. නිවාඩු ලැබෙන දිනවල් ගොස් ඔහුත් සමඟ පොළව කෙටුවේය. වෘත්තීය සමිති සඟයෝද, සමාජ ජාලා හිතවතුන්ද රට වටා ගොස් ඔහුට අවශ්‍ය බීජ සහ පැල වර්ග ඔහුට ගෙනිහින් දුන්නෝය. චන්දිම වීරක්කොඩි කෙලවෙනවා කියා දැන මේ පැත්තට විත් රට වෙනුවෙන් ලොකු ටෝක් ඉශූ කරන කොටත් බන්දුල සමන් කුමාර සහෝදරයා මහ පොළව සමඟ හැප්පෙමින් උපේක්ෂා සහගතව බලා සිටියේය.

පාර්ලිමේන්තුව විසිරවා හැරි ගමන් ඛණිජ තෙල් සේවකයෝ ඔහුට ප්‍රකාශ කලේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන ලෙසයි.. ඔහුගේ හිතවතුන් ඔහුට යෝජනා කලේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන ලෙසයි. ඔහුගේ වෘත්තීය සමිති සඟයන් ඔහුට යෝජනා කලේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන ලෙසයි. ඔහුගේ පිළිතුර වූයෙ වචන කිහිපයක් පමණි.

“මචන්, ඡන්දේ ඉල්ලනවානම් ඉල්ලන්න ඕන රටට ආදරය කරන නායකයෙක් එක්ක.. එහෙම ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි. මම කැමත්තෙන් ඉන්නවා.. මම සුදුසු නම් එයාලා මට අවස්ථාවක් දෙයි”

බන්දුල සමන් කුමාර සහොදරයාණෙනි, ඔබට තරම් ඉවසීමක් මට නැත. ඔබට තරම් විනයක් මට නැත. ඔබට තරම් උපේක්ශාවක් මට නැත. ඒ නිසා මුලදී කීවාක් මෙන් අකමැත්තෙන් වුවද මෙසේ ලියන්නට සිදු විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන අධිකාරියේ මහත්වරුනි, මේ වෙලාව තීරණාත්මක මොහොතක් බව අපි දනිමු. පහුගිය ආණ්ඩුවේ මළගම වෙනුවෙන් මහ පොළවේ තීරණාත්මක සටනක් දියත් කල බන්දුල සමන් කුමාර සහෝදරයාට දියවන්නා තරණය වෙනුවෙන් නාම යෝජනා ලබා දෙන ලෙස ඉතා බැගෑපත්ව, කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිමු. අවස්ථාව ලද විට ලඟට එන, දුකේදී අත හැර යන චන්දිම වීරක්කොඩිලා වැනි දේශපාලන හිඟන්නන් නොව රටට ආදරේ ඇති බන්දුල සමන් කුමාරලා ඔබේ කඳවුර දැඩිව ශක්තිමත් කරනු ඇති.

මේ අපේ ආයාචනාවයි.. කාරුණිකව සලකා ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කර දෙන ලෙස හෘද්‍යාංගමව ඉල්ලමු.

ප.ලි. දෙවන පින්තූරය ඇඩ් කරන්නේ එහි වූ සංවේදී බව නිසාමය.. චන්දිම වීරක්කොඩිලාගේ ඒ කාලෙ පොලීසිය ජාතික සම්පත් වෙනුවෙන් සටන් වැදි වෘත්තිය සමිති නායකයන් කමිසයෙන් ඇද ඇදගෙන ගියේ එසේය. චන්දිම වීරක්කොඩිලා මුනිවත රැකගෙන සිටියේ එසේ ඔවුන්ව ඇදගෙන යන විටදීය…