රටට හිතකර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමද නැතිනම් බහුතරය පෙන්වා සිටීමද?

වසර ගණනක පටන් විවිධ ආණ්ඩු යටතේ පක්ෂ වාසියට එකතු වීමෙන් සැදුම් ලත් ආණ්ඩු අප දැක ඇත්තෙමු. ඒ සෑම ආණ්ඩුවක්ම තම පාලනය අවසන් කළේ, රටට නොගැලපෙන ඉතාමත්ම අහිතකර තීන්දු රාශියක් රටට උරුම කරමින්. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය යටතේ රනිල් වික්‍රමසිංහ අගමැති වූ 2002 2004 වසර දෙකේ වගේම 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙයි වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වූ වසර තුන හමාරේදී රට මුහුණපෑවේ අතිශය ඛේදනීය තත්ත්වයකට ය. පසුගියදා මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය වරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව මේ වන විට විට මුහුණ පා සිටින්නේ එවැනිම වූ අභාග්‍ය සම්පන්න තත්වයකට ය. ජනපති මෛත්‍රිපාල සිරිසේන අගමැති මහින්ද රාජපක්ෂත් දිගින් දිගටම පවසා සිටින්නේ තමන්ට බහුතරය හිමි බවයි. එක්සත් ජාතික පක්ෂය ද කැට තියමින් කියා සිටින්නේ බහුතරයක් තිබෙන්නේ තමන්ට කියා යි. කෙසේ වුවද කාට බහුතරය හිමි වුවද, ඉදිරියේ දී ආණ්ඩුව පවත්වාගෙන යන රජය, මුහුණ පාන්නේ දැවැන්ත අර්බුදයකට බව ඔබ අප හැමදෙනාම දන්නවා. එසේ නම් ඒ සඳහා වඩාත්ම සුදුසු කුමක් ද? එක්සත් ජාතික පක්ෂයට හෝ වේවා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ වේවා, වඩාත් බහුතරයක් ඇතිකර ගැනීම පිණිස පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයක් පැවැත්වීම යෝග්‍ය බව, රටට ආදරය කරන පුරවැසියෙක් හැටියට මට හැගේ.

රටට හිතැති මහ ජනතාවගේ සිතුම් පැතුම් දන්නා ජනාධිපතිවරයෙකුව සිටි, මහින්ද රාජපක්ෂ මැතිතුමා එම සිතුම් පැතුම් අනුව කටයුතු කරයි කියලා රටේ ජනතාව ඉතාමත් ම විශ්වාසයෙන් ඉන්න බව එතුමා දන්නවා ඇත. අනෙක් කාරණය පසුගිය වසර තුන හමාර තුල පහුගිය ආණ්ඩුව කළ සියළුම වැරදි, ඉදිරි වසර තුළ දී මහින්ද රාජපක්ෂ මැතිතුමා පිටින් වත්මන් විපක්ෂ ය යවනු ඇති බව සැක නැත. එනිසා රටට සේම රටේ වැසියන්ට ද වඩාත් යහපත් ක්‍රියා මාර්ගය වනුයේ සහ ස්ථාවර පාර්ලිමේන්තුවක් සඳහා වඩාත් සුදුසුම මාර්ගයක් වනුයේ, වත්මන් පාර්ලිමේන්තුව ජනපති අණින් විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමයි. එසේ නොවුණහොත් පසුගිය ආණ්ඩුවට තිබූ ලෙසම මේ ආණ්ඩුවටත් සිදු වන්නේ, තමන්ගේ මන්ත්‍රීවරුන් රඳවා තබා ගැනීමට වරදාන වරප්‍රසාද දීම පමණක් බව තරයේ විශ්වාස කරමි.

පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන සැකයක් නැත. පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහනය ඒ සඳහා කදිම සාක්ෂියක් ය. ඒ ප්‍රතිඵලය පමණක් ගත් කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය, පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් කිසිදු ගැටලුවක් නැතුව ඔවුන්ගේ සන්ධානයට ආසන එකසිය දහතුනක් ඉක්මවා බලය ලබා ගත හැකි බව දේශපාලනය තේරෙන පොඩි එකෙකුට පවා වැටහෙන පැහැදිලි සත්‍යයකි.

නමුත් බහුතරය හිමි වීම නිසා ම පාර්ලිමේන්තු ව දිගින් දිගටම පවත්වාගෙන ගියහොත් සුළු පක්ෂවල කේවල් කිරීම මත ආණ්ඩුව කඩා වැටීමේ දැඩි අවධානමක් ඇතිව තිබේ. එම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම රටටත්, මහජනතාවටත්, ආණ්ඩුවටත්, විපක්ෂයටත්, එකසේ යහපත් ක්‍රියා මාර්ගයක් සේ විශ්වාස කරමි.

රටට සහ රටේ ජනතාවට අවශ්‍ය රටට වැඩක් කෙරෙන ඉදිරි දැක්මක් ඇති යහපත් රජයක් මිස වෙනත් කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක්, සංහිඳියාවක්, නීතියක්, වැනි බරපතළ කාරණා නොවේ. තුන්වේල බඩට කන්නට, නිසිසේ වස්ත්‍රයක් අදින්නට, රිසි සේ ගමන් බිමන් යන්නට, මනස සැහැල්ලුව තියා ගන්නට ඇති පරිසරයක්, රට තුළ ඇති වූ වහාම, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව, නීතිය ආදී සියලු කරුණු සුරැකෙනු ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුනි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි, මේ රටේ ජනතාව ඔබෙන් ඉල්ලා සිටින්නේ එබඳු පරිසරයක් මිස වෙනත් සංකීර්ණ ගැටළුවක් වත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වත් නොවන බව තරයේ විශ්වාස කරමි.

එබැවින් මහජන මතයට ගරු කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.