පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාද වන හේතුව මෙන්න

පාර්ලිමේන්තුව කැඳවීම ප‍්‍රමාද වන්නේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් විම සඳහා බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටිනවා.

එතුමා මේ බව සඳහන් කලේ අල්ජසීරා නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ දැනටමත් තමන්ට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් ඉන්නා බවයි. තම පත්වීම ව්‍යවස්ථාවට අනුව පරිපූර්ණ බවද තමා තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවද මහින්ද රාජපක්ෂ මහතා ඒ අවස්ථාවේ පවසා තිබෙනවා.

මේ අතර හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද අල් ජසීරා නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වී අදහස් පළ කළා. එහිදී ඔහු පෙන්වා දෙන්නේ තමාටද පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බවයි.

පාර්ලිමේන්තුව කැඳවිමට ප‍්‍රමාද වන්නේ වත්මන් ආණ්ඩුවේ පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති වීම හේතුවෙන් බව රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. පාර්ලිමේන්තුව නැවත කැඳවන තුරු තමන් අරලියගහ මන්දිරයෙන් ඉවත් නොවන බවයි ඔහු මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.

මේ වනවිට පාර්ලිමේන්තුව් සංයුතියට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ප‍්‍රමුඛ නව රජයට හිමි මන්තී‍්‍රධූර සංඛ්‍යාව 104ක්. එක්සත් ජාතික පෙරමුණට හිමි මන්තී‍්‍රධූර සංඛ්‍යාව 99ක් දක්වා අඩුවී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට නම් හිමිවිය යුතු මන්තී‍්‍රධූර සංඛ්‍යාව 113ක්.

දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් 15දෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරු 06දෙනෙකු හා ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ එක් මන්තී‍්‍රවරයෙකු ද ඉතිරි පාර්ලිමේන්තු සංයුතියට අයත්.

නව ආණ්ඩුව පත් වීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සමග මන්තී‍්‍රවරුන් 08දෙනෙකු එක්වුණා. ඉන් 06දෙනෙකු එක්සත් ජාතික පක්ෂ මන්ති‍්‍රවරුන්. ඊ. පී. ඞී.පී. මන්තී‍්‍රවරයෙකු හා දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍රවරයෙකුද ආණ්ඩුවට සහය පළ කර තිබෙනවා.