TNA මන්ත්‍රීන් මහින්ද පාර්ශවයට එක් වෙද්දී එයාලා කොටි නෙවෙයිද?

දෙමළ සංධාන මන්ත්‍රීලා දැන් දේශප්‍රේමී දැයි අසනා මන්ද බුද්ධික ජනතාවට,

දේශපාලනයේ නිතරම ගැටෙන්නෙ මත දෙකක්. දේශපාලනය කියන්නේ තනි පුද්ගලයෙකුට බලය ලබා දීමට සිදු වෙන ක්‍රියාවක් නම් මේ ලෝකයේ මිනිස්සු මෙච්චර දේශපාලනයට උණන්දු සහ සක්‍රීය වෙන්නේ නෑ. දේශපාලනයේදි සිදු වන්නේ තමන් නියෝජනය කරන මතය දිනවීමේ සටනක්.

මේ වෙලාවේ ශ්‍රී ලංකා දේශපාලනයේ ගැටෙන මත බලවේග දෙකක් තියෙනවා. ඒ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජාතිකවාදි ප්‍රතිපත්තිය සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ජාත්‍යන්තරවාදී නව ලිබරල්වාදී ප්‍රතිපත්තියයි.

එහෙම නැතුව රටේ මිනිස්සු, මාධ්‍ය, වියත්තු, N.G.O කාරයො, ඩයස්පෝරාව ඇතුලු හැමෝම මේ සම්බන්ධ වෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර පෞද්ගලික බල ගැටුමකට නෙවෙයි.

මේ තීරණාත්මක වෙලාවේ දෙමළ සංධානයෙන් හරි කොටි සංවිධානයෙන් හරි මිනිස්සු ගැලවිලා මහින්ද ශක්තිමත් කරන්න එනවා නම් එකෙන් ශක්තිමත් වෙන්නේ මහින්ද නියෝජනය කරනා ප්‍රතිපත්තියයි.

අපි හුරේ දාන්නේ ඒ ප්‍රතිපත්තිය ශක්තිමත් වීමට මිසක් පැමිණෙන මන්ත්‍රීවරයාගෙ අතීත භාවිතාවන් වලට නෙවෙයි. ඒ මන්ත්‍රීවරයා නව කඳවුරට එන්නේ අතීත භාවිතාවන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට වන බව දැන දැනමයි.

මේ සිදුවීමට පැරණි උදාහරණ ඕනෑ තරම්…

කොටි සංවිධානය අතෑරලා කරුණා මහින්ද ලගට ආවා. එතකොට අපි කරුණාගේ ආගමනයට හුරේ දැම්මේ කරුණාගේ ආගමනයෙන් කොටි විරෝධී ප්‍රතිපත්තිය ශක්තිමත් වීම නිසා මිසෙක කරුණාගේ අතීත ත්‍රස්‍ත භාවිතාවන් වලට නෙවෙයි.

කරුණා පැමිණීමෙන් වුනේ කොටින්ගේ පරාජය ඉක්මන් වුනු එක.. එහෙම නැතුව කරුණාගේ බලපෑමෙන් මහින්ද කොටියෙක් වෙලා යුද්ධෙ නතර කරපු එක නෙවෙයි.. කරුණා කඳවුරු මාරු කළේ තමන්ගේ බෙඳුම්වාදී ත්‍රස්ත ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අමතක කරලා හෝ පාවා දීලා. දැන් මංගල සමරවීර රණවිරුන්ට එරෙහිව යෝජනා සම්මත කරද්දී හිටපු කොටි ප්‍රධානී කරුණා රණවිරුවන් යුධ අපරාධ නොකළ බව කියනවා.

දේශපාලනයේ තනි පුද්ගලයන් කඳවුරු මාරු කරාම සිදුවන්නේ කඳවුරු ශක්තිමත් වීම මිසෙක අලුත් සාමාජිකයන්ගේ පැරණි මත වලට කඳවුරු වෙනස් වීම නෙවෙයි.

මේ බව එජාප, ජවිපෙ, රැඩිකල් නිරාගමිකයොත් හොදින්ම දන්නවා.

සිංහල බෞද්ධ අන්තවාදියෙක් විදියට පෙනී හිටපු පාඨලී චම්පික රණවක එජාපයට ගියා. හැබැයි ඒකෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය සිංහල බෞද්ධකරණය වුනේ නෑ.

පාඨලි ඉන්න ආණ්ඩුවක භික්ෂූන් වහන්සේලා හිරේ දාද්දි, කොටි ත්‍රස්තයන් නිදහස් වීම සිදුවුනා. අතීත සිංහල බෞද්ධ අන්තවාදී පාඨලී එම තීරණ සාධාරණීකරනය කිරීම කළා.

මහින්දගේ ආණ්ඩුවකට දෙමළ සංධාන මන්ත්‍රීවරු පැමිණීමත් ඒ වගේ.. ඔවුන් හුදෙක් බල තුලනයට අවශ්‍ය ඉත්තන් විනා ප්‍රතිපත්ති තීරණය කරනා සාධක නෙවෙයි.

ඔවුන්ගේ පැමිණීම වෙනුවෙන් අපි හුරේ දාන්නේ ඒ නිසයි .. එහිදි ප්‍රතිපත්ති වෙනස් වන්නේ පැමිණෙන දෙමළ සංධාන මන්ත්‍රීවරුන්ගේ විනා අප කඳවුරේ නෙවෙයි.

ඒ බව හොදින් දැන දැන..,
පහුගිය ආණ්ඩුව කොටින්ට වන්දි ගෙවද්දී “කොටි කියන්නෙත් අපේම සහෝදරයො, හැමෝම මිනිස්සු” කියලා ඒක සාධාරණීකරනය කරපු එජාප, ජවිපෙ, රැඩිකල්ලු දැන් “මහින්ද ලඟට ආවම දෙමළ සංධානයේ කොටි දේශප්‍රේමී වෙලාද” කියලා අහන්න එපා..

ඒක හරි කැතයි..

– ඉෂාන් ජයසූරිය