ඇත්තටම බලයට කෑදර කවුද..?

ඔක්තෝබර් 26දා සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ නව අගමැති ලෙස දිවුරුම් දෙන බව දැන සිටියේ ඉතා සුලු පිරිසක් පමනි. එය කෙතරම් හොඳින් ආරක්ෂා වූ රහසක්ද යත් දිවුරුම් දීමේ උත්සවයට සහභාගීවු පිරිසෙනුත් බොහෝ දෙනෙකු එම ස්ථානයට කැඳවා තිබුනේ වෙනත් සාකච්ඡාවක් සඳහා කියාය.තමුන්ට කුමක් සිදුවන්නේද යන්න වැටහුනේ හදිසියේම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතට යම් කොලයක් දී මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙන්නට පටන් ගත් විට බව කියමින් ඒකාබද්ධ විපක්ෂයේ සමහරක් මන්ත්‍රීවරු සිනා සෙනවා විජේරාම නිවසට ගිය අයට අසන්නට ලැබුනි.

අගමැති මාරුවෙන් පසු පිහිටවන ආන්ඩුව ‘අන්තර් කාලීන ආන්ඩුවක්’ ලෙස හැඳින්විය යුතුයැයි මුලින්ම යෝජනා කලේ විමල් වීරවංශ මහතායි. ඇත්තෙන්ම මේ නම එහි අරමුණ හොඳින්ම පැහැදිලි කරයි. ජනතාවට අවශ්‍යව ඇත්තේ වත්මන් පාර්ලිමේන්තුව බලයේ තබාගෙන බොහෝ කාලයක් රට පාලනය වනවා දකින්නට නොවේ. ජනතාවට අවශ්‍යව ඇත්තේ සැබෑ ජනතා මතය නියෝජනය වන ප්‍රජාතාන්ත්‍රිකව තෝරාගත් නව පාර්ලිමේන්තුවක් තුලින් බිහිවන රටේ ප්‍රශ්ණ වලට දිගුකාලීන පිලිතුරක් දිය හැකි ආන්ඩුවකි. ඒ නිසා අන්තර් කාලීන ආන්ඩුවක වගකීම වන්නේ 19 වන ව්‍යවස්ථාවෙන් ඇති කොට ඇති ගැටලුව විසඳාගෙන පාර්ලිමේන්තු මැතිවරණයකට රට සූදානම් කිරීම හා එතෙක් රටේ ආර්ථිකය අර්බූදය සමනය කර ජනතාවගේ ගැටලුවලට හැකි පමනින් විසඳුම් ලබා දීමයි. මීට අමතරව මේ බල පෙරලිය නිසා සිදුවූ වැදගත්ම දේ නම් රට විශාල විනාශයක් කරා ගෙනයමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ දේශ ද්‍රෝහී කල්ලියක ගමන නතර කිරීමයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි මස නොගැලපෙන දීගයක් කර ගත්ත් බව එතුමාම මේ වන විට පිලිගෙන ඇත. වසර 40 ක පමන කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දැරු, ජනාධිපති තරඟයට ඉදිරිපත් වන විට පක්ෂයේ මහ ලේකම් දූරය දරූ, ජනාධිපති ලෙස පක්ෂයේ සභාපතිත්වයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තීන් සමඟ හදවතින් එකඟ නොවිය හැකි වීම පුදුමයක් නොවේ. එහෙත් කරගත් දීගය මොන ප්‍රශ්ණ ආවත් දිගටම පවත්වාගෙන යාමට බොහෝ මිනිසුන් උත්සාහ කරන්නාක් මෙන් වසර 3 කුත් මාස 9 ක් හවුල් ආන්ඩුව ඉවසීමෙන් තුල රැඳී සිටින්නට ජනාධිපතිවරයාට සිදු විය. එතුමාගේ ඉවසීමේ කට්ට පනින්නට ඇත්තේ තමන් ඝාතනය කරන්නට සිදු කලා යැයි කියන කුමන්ත්‍රණයක් පවා යට ගහන්නට තම හවුල් කරුවන් උත්සාහ කරන බව වටහා ගත් පසුවය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කුමන හේතුවක් නිසා රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කලත් අවසාන ප්‍රතිපලය රටට හිතකර බව නම් පැහැදිලිය. පසුගිය වසර 4 කට ආසන්න කාලය තුල රනිල් වික්‍රමසිංහ මහතාගේ ආන්ඩුව මේ රට තුල විශාල සමාජ, ආර්ථික දේශපාලන අර්බූදයක් නිර්මණය කලේය. රටේ ස්වෛරීත්වය පවා දුන්නේය, ජාත්‍යන්තරව ලංකාවේ ප්‍රතිරූපය වැනසුවේය, නිවට නියාලු ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ අප දනගැස්සවූවේය, රට පුරා වෛරය පැතිරවූවේය, සංහිදියාවට හානි කරමින් බෙදුම්වාදයට උඩගෙඩි දුන්නේය, චන්ද කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදය කොල්ලකෑවේය, ජාතික සම්පත් විකුණුවේය, සිතූ හැටියට රට මංකොල්ල කන දූෂිතයින් පිරිසක් සමඟ ආන්ඩු කලේය. මේ විනාශකාරී පිලිවෙත නතරකල හැකිව තිබුන එකම ක්‍රමය නම් රනිල් වික්‍රමසිංහව අගමැති කමෙන් ඉවත් කිරීමය. කිසිවෙකු බලාපොරොත්තු නොවූ මොහොතක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කලේ එයයි. එසේ කිරීමෙන් ජනාධිපතිවරයා ඉටුකලේ ජාතික වගකීමකි.

රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයට පෙන්වූයේ තමා ඉහලම මට්ටමේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙසය. නමුත් ඔහු තරම් අයුතු ලෙස බලයේ සිටීමට කපටි ලෙස පාර්ලිමේන්තු ක්‍රමයයොදාගත් නායකයෙකු නිදහසින් පසු නොසිටියේය, තම වසර 40 ක පාර්ලිමේන්තු අත්දැකීම් ඔහු බාවිත කලේ සමාජයට යහපතක් කරන්නට නොව තම බලය පවත්වාගෙන යාමට අවශ්‍ය කපටි නූල් සූත්තර සඳහාය.

2015 අප්‍රේල් මස සම්මත කරවාගත් 19 වන ව්‍යවස්ථා සංශෝදනය එයට හොඳම උදාහරණයකි. මේ සංශෝදනය සඳහා කුමන මුඛ්‍ය අරමුණු තිබුනත් එහි සැබෑ අරමුණ වූයේ රනිල් වික්‍රමසිංහ මහතා හැකිතාක් කල් බලයේ රඳවාගැනීමය.

19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගත්තේ කඩිමුඩියේය. හැන්සාඩ් වාර්ථාවට අනුව මෙම කෙටුම්පත් පිළිබඳ කාරක සභා අවස්තාව 2015.04.28 දින රාත්‍රී 7.46 ට ආරම්ඹ වී රාත්‍රී 11.10 ට අවසන් වී ඇත. බොහෝමයක් අලුත් සංශෝධන කෙටුම්පතට රිංගවන ලද්දේ මේ කාරක සභා අවස්තාවේය. එ වන විට මංත්‍රීවරු බොහෝදෙනෙකු වෙහෙස නිසා අවධානයෙන් නොසිටින බව මේ මගඩිය කල අය හොඳින්ම දැන සිටින්නට ඇත.ඒ සංශෝධන වලට අදාල ලිපි ලේඛණ තමුන්ට ලැබී නොමැති බව මන්ත්‍රී වරුන් චෝදනා කරන හැටිත් ඔවුන්ට කට වසාගෙන වාඩි වෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඝර්ජනා කරනා හැටිත් හැන්සාඩ් වාර්ථාවේ පැහැදිලිව සටහන් වේ.

ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට තෙවන වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට කොන්දේසියක් දැමීම , ගෝටාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි ලෙසට 77 ව්‍යවස්ථාවේ නොතිබූ දිවිත්ව පුරවැසි බාවය ගැන නව කොන්දේසියක් දැමීම හා , නාමල් රාජපක්ෂට 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි ලෙසට 78 ව්‍යවස්ථාවේ තිබූ වයස් සීමාව ඉහල දැමීම 19 ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදු විය.

78 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණයකින් පත්වන රජයක් වසර දෙකකට පසු ජනතා අප්‍රසාදයට ලක්වී ඇතැයි හැඟෙන්නේ නම් විසිරවීමට බලය තිබිනි. ඉන්පසු තීරණය ජනතාව අතය. ජනාධිපතිවරයා පවතින රජයට ආසාධාරණයක් කලා නම් ජනතාවට එම රජයම යලි පත්කිරීමේ අවස්ථාව තිබිනි. නමුත් 2004දී චන්ද්‍රිකා බන්ඩාරණායක ජනාධිපතිනිය රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසිරවීමට ගත් තීරණය නිවැරදි බව ඔප්පු වූයේ ඊලඟ මහ මැතිවරණයෙන්ද ජනතාව වික්‍රමසිංහ පාලනය ප්‍රතික්ෂේප කල නිසාය. පසුගිය පලාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ චන්ද පදනම 32.3% ට වැටුනි. එසේනම් වික්‍රමසිංහ පාලනය බහුතර ජනතා අප්‍රසාදයට ලක්ව ඇති බව තහවුරු වේ. නමුත් ඉතිහාසයේ පලපුරුද්දට අනුව තමන්ට වැඩිකල් දුවන්නට නොහැකි බව බව කලින්ම දැනසිටි රනිල් වික්‍රමසිංහ මහතා 19ව්‍යවස්ථා සංශෝධනය අස්සේ හිමිහිට තමුන්ට අවශ්‍ය වගන්තියකුත් රිංගවා ගෙන තිබුනි. ඒ වසර පාර්ලිමේන්තුව පත්වී වසර 4 1/2 ක් ගතවන තුරු එය විසිරවිය නොහැකි බවටයි. 19 ව්‍යවස්ථා සංශෝධනය කලදා මහ රෑ වන තුරු පාර්ලිමේන්තු සැසිවාරය පවත්වමින් මංත්‍රීවරුන් නිදි කිරා වැටෙද්දී හොරෙන්ම රිංගවූ කපටි වගන්ති කිහිපය අතරට මෙයත් එක්වේ. මහජනතාවගේ පැත්තේන් මෙහි අසාධාරණත්වය ඒ අවස්ථාවේ බොහෝ දෙනෙකුට නොතේරුනද මේ වන විටනම් වැටහී අවසන්ය. මින් සිදු වී ඇත්තේ ජනාධිපති බලතල සීමා කිරිමේ මුවාවෙන් ආන්ඩුව අස්ථාවර අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා චන්දයකින් ස්ථාවර ආන්ඩුවක් පිහිටුවාගැනීමට ජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමිකිරීමය.

මේ සියල්ලටම වැඩි කපටි උගුල නම් අවසාන මොහොතේ කාරක සභා අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා වෙහෙස වී සිටින සිටින රාත්‍රියේ රිංගවා ගත් ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කල නොහැකිය යන කොන්දේසියයි. යමෙකු යම් ධූරයකට පත් කරන්නෙකුට එසේ පත් කල අයව ඉවත් කිරීමටද බලය තිබිය යුතු බව තර්කයෙන් තොරව පිලිගත යුතු කාරණයකි. එහෙත් මේ අරුම පුදුම ව්‍යවස්ථා සංශෝධනය හරහා රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වූයේ තමන්ව පත්කරවාගත් පසු කිසිලෙසකින් යලි ඉවත් කල නොහැකිය යන ප්‍රජාතන්ත්‍ර විරෝධී කොන්දේසියක් රිංගවා ගන්නටය. ජනතාවගේ වාසනාවකට මෙන් හදිසියේ රිංගවා ගත් ඡේදවල යම් යම් අඩුපාඩු නිසා වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාව නිසි ලෙස ඉටුවූයේ නැත. මෛත්‍රිපාල සිරිසේන මහතාට ජාතියේ නාමයෙන් ව්‍යවස්තානුකූලවම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ඉඩ සැලසුනේ එසේය.

රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ කාලයක් විපක්ෂ නායක ලෙස සිටියදී හැමදාමත් යැපුනේ බටහිර රටවල සහායෙනි. කවදා හෝ මේ බටහිර බලවේග විසින් තමුන් බලයට ගෙන එනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ඔහු දිගින් දිගටම බටහිරට ගතු කීවේය. ලංකාවට ආධාර නවත්තන ලෙස විදේශීය රටවලින් ඉල්ලුවේය. ත්‍රස්තවාදයට එරෙහිව කල යුද්ධයට දිගින් දිගටම බාධා කලේය. ඒ ගැන අමූලික බොරු පැතිරවූවේය. අද ලංකාවට විශාල ගැටලුවක් වී තිබෙන ජිනීවා යෝජනාවට පාදක වූ ශ්‍රී ලංකාවේ හමුදාව උතුරේ සිවිල් වැසියන් 40,000 ක් මරා දමුවා කියන අමූලික බොරුව නිර්මාණය කලේද ඔහු බව විකිලීක්ස් රහස් වාර්ථාවකින් හෙලිවිය. හැකියාවක් තිබේ නම් කරදාසියක ඔතා ලංකාවම වුනත් විකුණන්නට ඔහු පසුබට නොවනු ඇත. ඔහු කිසිදු විවාදයකින් තොරව නූතන දොන් ජුවන් ධර්මපාලය. ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වූ, ජාතියට ආදරය කල නායකයන් රැසක් බිහිකොට ඇති එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකයෙකු සොයාගන්නට කාලය පැමිණ ඇතැයි ඔක්තෝබර් 28දා ජාතිය අමතමින් පවසන්නට පවා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාට සිතෙන්නට ඇත්තේ මේ නිසාය

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමාද වී හෝ නිවැරදි තීරණය ගෙන ඇත. එමගින් ඔහු ඉටුකර ඇත්තේ ඉතිහාසය විසින් ඔහු මත පැවරු විශාල වගකීමකි.

– ආචාර්ය නාලක ගොඩහේවා