කාන්තා කායවර්ධනයෙන් ජාත්‍යන්තරය ජය ගත් අපේ කෙල්ල දිල්රුක්ෂිකා

දිල්රුක්ෂිකා සලමන් ආරච්චි යනු ලංකාවේ සිටින දක්ෂ කාය වර්ධන ක්‍රීඩිකාවකි. ඇය ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තර කාන්තා කායවර්ධන කේෂ්ත්‍රෙය් ලෙල දෙවන්නට සමත් වූ ලංකාවේ සිටින එකම කාය වර්ධන ක්‍රීඩිකාව කිවහොත් නිවැරදිය. ඇය මේ වන විට 2018 වසරේ පැවැති ඔලිම්පික් ශ්‍රී බෑන්කර් කායවර්ධන තරගාවලියේ ශූරතාවය දිනා ගෙන තිබේ. කාන්තාවක විසින් කාය වර්ධන ක්‍රීඩාව තුළින් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය පළමු අවස්ථාව මෙයයි. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ඇයව සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු.

පළමුවෙන්ම ඉන්දියාවේ මේ මස පැවැති මිස්ටර් ඔලිම්පියා තරගාවලිය ගැන කතා කළොත්?

ඒ තරගාවලිය මිස්ටර් ඔලිම්පියා. එයට රටවල් 10කින් සහභාගී වූවා. නමුත් ඒ තරගාවලිය මට අවශ්‍ය විදියට ජයග්‍රහණය කරන්න නොහැකි වූවා. මට ඒ තරගාවලියේ ලැබුණේ 5 වැනි ස්ථානය. ඒ තරගයෙහි සියලු ජයග්‍රහණ ලබා දුන්නේ විනිශ්චය මණ්ඩලයේ ඇඳුනුම්කම්වලට. ඇත්තටම එය මට සිදුවුණු ලොකු අසාධාරණයක්.

එය එසේ වූවත් 2018 වසරේ පැවැති ඔලිම්පික් ශ්‍රී බෑන්කර් කායවර්ධන තරඟාවලියේ ශූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය පළමු අවස්ථාව ඔබට පසුගියදා උදාවුණා. ඒ තරගාවලිය ගැන කතා කළොත්?

මට ඒ තරගාවලියේ මම තරග කරපු හැම අංශයම ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා. ඒ තරගාවලියේ පළමු ස්ථානය ලබා ගත්තේ මම. මේ තරගාවලිය පැවතුනේ ඇමෙරිකාවේ ජැක්සන්වේල්වල.

මේ ලෙස ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබාගත් ඔබට ලංකාවෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

මම මේ සියලු තරගවලට සහභාගි වන්නේ ලංකාව වෙනුවෙන්. නමුත් මට මේ වන තෙක් කිසිම උදව්වක් අපේ රටින් සිදු කර නැහැ. මේ සියලු තරගවලට මම සහභාගි වන්නේ මගේ පෞද්ගලික වියදමින්. මම ලංකාවට ඇවිත් සිටියදීවත් මට පෙඩරේෂන් එකෙන්වත් මේ තරම් ජයග්‍රහණයක් ලංකාවට අත් කර දුන්නත් කතා කළේ නැහැ.

ඇත්තටම ගැහැනු ළමයෙක් මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නේ ඉතාම කලාතුරකින්. ඔබ කොහමද මේ ක්ෂේත්‍රයට යොමු වූයේ?

මම ඉස්සර හැම වෙලේම ව්‍යායාම කළා. ඒ එක ව්‍යායම් මධ්‍යස්ථානයක පුහුණුකරුවෙක් තමා මට ආරාධනා කළේ එක් තරගයකට සහභාගි වෙන්න. ඒ මගේ පළවෙනි ෂෝ එක. මම එයින් ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවා. ඒ තරඟාවලියේ සිටි විනිශ්චය මණ්ඩලය මට පැවසුවා මට හොඳ අනාගතයක් තියෙනවා කියා පෙනෙනවා ඒ නිසා නවත්වන්නෙ නැතිව මේ ක්ෂේත්‍රයේ දිගටම යෙදෙන්න කියා ආරාධනා කළා. ඉන් පසුව මට තව තරඟ සඳහා සහභාගි වන්න අවස්ථාව ලැබුණා. ඒ තරගවලිනුත් මට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණා.

කාය වර්ධන ක්‍රීඩිකාවක් ලෙස ආහාර සම්බන්ධව ඉතාම සැලකිල්ලක් දැක්වීම අවශ්‍යයි. ඒ සම්බන්ධව කතා කළොත්?

ආහාර පෝෂණය ගත්තම අපි ක්‍රීඩාවලට ගියත් නැතත් සාමාන්‍යයෙන් සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න නම් ගුණවත් කෑම වර්ග ආහාරයට ගන්න ඕන. තෙල් දාපු කෑම වර්ග ඇඟට හොඳ දේවල් නෙමේ. අපි හිතමු බත් ගොඩක් කනවා කියලා. ඒක හොඳ දෙයක් නෙමේ. බත් කියන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒවා අනිවාර්යෙන්ම සීනිවලට පරිවර්තනය වෙනවා. ලංකාවේ ගොඩක් අයට දියවැඩියාව ඇති වෙන්න හේතුව තමයි බත් ගොඩක් ආහාරයට ගැනීම. ඒ නිසා තමන් ගන්න ආහාරය ගැන දැනුවත්වීමක් තියෙන්න ඕන.

බොහෝ දෙනෙක්ගෙ බියක් තිබෙනවා කාන්තාවන් මේ ක්ෂේත්‍රයට යොමු වූ විට ගැබ් ගැනීමට නොහැකි වෙනවා කියා. ඇත්තටම එහි සත්‍යයක් තිබෙනවාද?

ඒ කතා සියල්ලම බොරු. ව්‍යායාම් කළා කියා කිසිම දෙයක් සිදු වෙන්නෙ නැහැ. මමත් දැන් අම්මා කෙනෙක්. ඒ දේවල් අපේ රටේ මිනිසුන් හදාගෙන ඉන්න මත පමණයි. මගේ යාළුවෝ ඉන්නවා මේ ක්ෂේත්‍රයේ බබාලා ලැබිලා මාස 6ක් පමණ යන විට නැවතත් තරග සඳහා සහභාගි වන. ගැබ් ගැනීම්වලට කිසිම බාධාවක් වෙන්නේ නැහැ මේ ක්ෂේත්‍රයට යොමු වුණා කියා.

මේ ක්ෂේත්‍රෙය් නිතර අහන්න ලැබෙන කාරණාවක් තමා තහනම් උත්තේජක යන්න. ඒ සම්බන්ධව ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක්ද?

සමහර අය තහනම් උත්තේජක ලබාගන්නවා. මම නම් කිසිම විටක ඒ දේවල් පාවිච්චි කරන්නෙ නැහැ. ඇත්තෙන්ම ඒ දේවල් අවශ්‍ය දේවල් නොවේ. ඇත්තෙන්ම ගන්න තියෙන ප්‍රෝටීන් වර්ග පාවිච්චි කරන්නෙත් නැහැ. මම කෑම හරියට කන එක පමණයි කරන්නෙ. කෑම හරියට කාලා හරියට ව්‍යායාම් සිදු කරනවා. ඇත්තෙන්ම ගැහැනු අයට ඒ දේවල් භාවිතා කරන්න අවශ්‍ය නැහැ. ගැහැනු කෙනෙක්ට අවශ්‍ය තමන්ගේ ශරීරයට ගානකට තියා ගන්න සහ යහපත් සෞඛ්‍යක් පවත්වා ගන්න එක. උත්තේජක කියන කාරණය ඇත්තටම අවශ්‍ය දෙයක් නෙමේ.

මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න කැමැත්තෙන් සිටින කාන්තාවන්ට ඔබට පවසන්න තියෙන්නේ මොකක්ද?

කාගේවත් මත අහන්නෙ නැතිව තමන්ගේ කැමැත්තට අනුව වැඩ කරන්න කියලා තමා ඒ අයට කියන්න තිබෙන්නේ. ගොඩක් වෙලාවට තියෙන්නේ බොරු මත. ව්‍යායාම කළාම පිරිමියෙක් වගේ වෙනවා කියන මත ඇත්තටම බොරු. ව්‍යායාම සිදු කර නිවැරදිව ආහාර ලබා ගන්නවා කියන්නෙ තමන්ගේ ශරීරයට හොඳයි. තමන්ගේ සෞඛ්‍යට හොඳයි. තමන්ගෙ ශරීරය ගැන තමන්ට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේ පැත්තට යොමු වුණාම තමන්ගේ සෞඛ්‍ය වගේම තමන්ගේ පවුලේ සෞඛ්‍ය නිවැරදිව පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා.

ඔබ මවක්, ගෘහණියක් වගේම රැකියාවක නියැළෙන තරුණියක්. කොහමද මේ හැම දේටම ඔබ කාලය කළමනාකරණය කර ගන්නේ?

කාල කළමණාකරණය තමයි ආමාරුම දේ. මම රැකියාවට යනවා, මගේ බබාව බලා ගන්නවා. ගෙදර වැඩ කරනවා. ඉතිං ඒ හැම දේටම මම කාලය වෙන් කරගෙන හැමදාම එකම පිළිවෙළකට කාල සටහනකට අනුව තමයි මේ සියලු දේ කරන්නෙ. එහෙම කළේ නැත්නම් අපිට මේ වෙනුවෙන් කාලය සොයා ගන්න බැහැ.

බොහෝ දෙනෙක් පවසන දෙයක් තමයි දරුවන් ලැබුන පසුව ශරීරය කැත වෙනවා කියන කාරණය. නමුත් ඔබ මේ වන විට මවක්. ඔබ මේ සියලු ජයග්‍රහණ ලබා තිබෙන්නේ ඉන් අනතුරුවයි. ඒ සම්බන්ධව ඔබේ අදහස මොන වගේද?

ඇත්තටම දරුවන් ලැබුණයින් පසුව කාන්තාවන් දුර්වල වෙනවා කියන කතාව බොරුවක්. අපි ශරීරයේ මනා පැවැත්ම සකසා ගත යුත්තේ ගැබිනි සමයේමයි. කෑම පාලනය කරමින් ව්‍යායාම කළ යුතුයි. එවිට අනවශ්‍ය ලෙස ඇදෙමින් ශරීරය විශාල වන්නේ නැහැ.

ඔබගේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්?

මට අවශ්‍ය ප්‍රෝ කාඩ් එක අරන් ලංකාවේ ආදර්ශ මොඩ්ල් එකක් විදියට කාන්තා කාය වර්ධන ක්ෂේත්‍රයට උදව් කරන්න. අපි කාය වර්ධන ක්‍රීඩිකාවන් ලංකාවේ බිහි කළ යුතුයි. ඕනෑම අවස්ථාවක ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න මම කැමැත්තෙන් සිටිනවා.

සටහන – සරසි නෙත්මිණි
උපුටා ගැනීම සාරවිට