විශ්මිත සැත්කමකින් පසු අනුරාධපුර රෝහලේදී රෝගියකුගේ වකුගඩුවේ තිබූ කිලෝ 02ක ගලක් ඉවත් කළ හැටි මෙන්න

පුද්ගලයෙකුගේ වම් වකුගඩුවේ හටගෙන තිබූ කිලෝ දෙකක පමණ බරකින් යුත් විශාල ප්‍රමාණයේ ගලක් සාර්ථක සැත්කමකින් පසු ඉවත් කිරීමට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබේ.

සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල් ගත කළ රෝගියා පිළිබඳව කළ එක්ස් කිරිණ පරීක්ෂාවකින් වකුගඩුවේ තිබූ ගල් නිරික්ෂණය වී ඇති අතර රෝගියකතුගේ වකුගඩුවේ මෙතරම් විශාල ප්‍රමාණයේ ගලක් දුටු පළමු අවස්ථාව මෙය අදාළ වෛද්‍යවරුන් සඳහන් කරයි.

පසුගිය 02දා මෙම ශල්‍යකර්මය සිදුකර ඇති අතර ඒ සඳහා වෛද්‍යවරුන්ට පැය තුනක පමණ කාලයක් ගතවී ඇත.

මෙම ශල්‍යකර්මය සිදුකළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ටී අරවින්දන් මහතා පවසන්නේ මෙවැන්නකි.

“රෝගියෙකුගේ වකුගඩුවක මෙතරම් විශාල ප්‍රමාණයේ ගලක් දැක්ක ප්‍රථම අවස්ථාව තමයි මේ. මීට පෙර අසා තිබුණෙත් නැහැ. මුත්‍රාශයේ නම් විශාල ගල් සහිත රෝගීන් අප දැක තිබෙනවා. මා ඇතුළු කාර්ය මණ්ඩලය රෝගියා ඉක්මනින් ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබුවා.

වකුගඩුවල තිබෙන කිලෝ දෙකක් පමණ ගලක් ඉවත් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඉන් අනතුරුව අපි ඉතා සුපරික්ෂාකාරීව මේ රෝගියාගේ වකුගඩුවේ තිබූ ගල කොටස්වලට වෙන් කර ඉවතට ගනු ලැබුවා. රෝගියා මේ වන විට නිරෝගී තත්ත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ ශල්‍යකර්මය සඳහා පැය තුනක පමණ කාලයක් ගත වුණා.

විශේෂයෙන් කිවයුතු වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලය නිසා තමයි මෙවැනි ගල් හටගන්නේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ජලය වැඩිපුර පානය කළ යුතු වනවා. එමඟින් මුත්‍රාශයේ වකුගඩුවල මේ ආකාරයෙන් ගල් ඇතිවීමේ අවදානම පහව යනවා. වකුගඩු වල පොඩි ගලක් හට ගත් විටත් රෝගියාට අධික වේදනාවක් හට ගන්නවා. එහෙත් මෙම රෝගියාට එවැනි වේදනාවක් දැනී නැහැ”.