සැප්තැම්බර් 30 සිට ඔක්තෝම්බර් 06 දක්වා සතියේ ලග්න පලාපල මෙන්න

සැප්තැම්බර් 30 සිට ඔක්තෝම්බර් 06 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය.

මේෂ – අලංකාරයට අවශ්‍ය දේ ලැබේ

ලග්නාධිපති කුජ රුචක යෝගයෙන් දිග්බලයෙන් ද දසවැන්න වූ කර්මස්ථානයේය. කේතු සමගයි. උත්සාහයේ ප්‍රතිඵල ලැබේ. වෙළෙඳ ව්‍යාපාර රැකියා කටයුතුවලින් දියුණුව ලබයි. ස්ථානගත වෙනස්කම්වලට හිත ඇදී යයි. ඉවසීමෙන් කටයුතු කළහොත් දියුණුව ලබාගත හැක. තාක්ෂණික සහ කාර්මික දේවලින් ලාභ ලැබිය හැක. තමාට යටත් අය සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න. අනුමානයට කරන දේවලින් දියුණුව ලැබේ.

ජය වර්ණය – රතු, අංකය – 09, දිනය – බ්‍රහස්පතින්දා

වෘෂභ – අත්හැර දමා තිබූ කටයුතුවලින් දියුණුව

ලග්නාධිපති සිකුරු, ගුරු සමග හයවැන්නේ සිටී. මිල මුදල් සම්බන්ධයෙන් යහපත්ය. හොඳ දේ සහ ප්‍රයෝජනවත් දේ සොයා ගැනීමට ඉඩ ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල දී වඩා ලාභ ලැබිය හැකි දේවලට සිත ඇදී යයි. අන්‍යයන්ගේ ආධාර උපකාරය ලැබේ. පිට පළාත්වල වැඩ කටයුතුවලට උනන්දු වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම් විය යුතුයි. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග බලපානු ඇත.

ජය වරණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

මිථුන – වියදම අධිකයි

ලග්නාධිපති බුධ රවි හතරේ සිටියදී සතිය ආරම්භ වේ. සිකුරු, ගුරු පූර්ව පුණ්‍යස්ථානගත වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කරදර ඇති වේ. නිකරුණේ මුදල් නාස්තිවීම්වලට ඉඩ පවතින නිසා මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ණයට දීමට යාමෙන් වළකින්න. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේ දී තරමක් කල්පනාකාරී විය යුත්තේය. දරුවන්ගේ කටයුතු ගැන අවධානය අවශ්‍යයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායක වේ. උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගනී.

ජය වර්ණය – කොළ, අංකය – 05, දිනය – බදාදා

කටක – මිශ්‍රඵලයි

යෝග කාරක ගුරු සිකුරු සමග 4 ද කුජ රුචක යෝගයෙන් හත්වැන්නේ ද සිටී. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදේ. බොහෝ විට එමගින් කිසිම ලාභ ප්‍රයෝජනයක් නොලැබේ. මිල මුදල් ලැබුණ ද මුදල් ඉතිරිකර ගැනීම තරමක් අසීරු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා අංශවලදී උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී සැලකිලිමත් විය යුතුයි. නොඑසේ නම් ආකුලතා ව්‍යාකුලතා ඉස්මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ.

ජය වර්ණය – ක්‍රීම් පාට, අංකය – 02, දිනය – සඳුදා

සිංහ – උසස් අයගේ ඇසුර

ලග්නාධිපති රවි උච්ච බුධ සමග දෙවැන්නේ සිටී. ගුරු සිකුරු තුන්වැන්නේය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී උසස් අයගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කරගත හැක. කරන කියන කටයුතුවල ලොකු වෙනස්කම් ඇති වේ. ඒ සම්බන්ධ අරමුණු පහළ වේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක.

ජය වර්ණය – රතු, අංකය – 01, දිනය – ඉරිදා

කන්‍යා – බලාපොරොත්තු ඉටුවේ

ලග්නාධිපති බුධ ලග්නයේ උච්චයි. රවි සමඟ සිටී. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධ අලුත් අදහස් සිතුවිලි පහළ වේ. ගමන්බිමන් යාමට ද ලියකියවිලි වැඩවලට ද, අධ්‍යාපන කටයතු අමුතු කිරීමට ද, හිතවතුන් නෑයන් සමග කටයුතු කිරීමට ද ඉඩ සැලසේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ආගමික සහ සමාජීය කටයුතුවලට යොමු වෙයි.

ජය වර්ණය – කොළ, අංකය – 05, දනය – බදාදා

තුලා – සමපලයි

ලග්නාධිපති සිකුරු ලග්නයේ ස්වක්ෂේත්‍රව මාලවී යෝගයෙන් ද සිටී. ගුරු සමගයි. මෙම පිහිටීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී වටින් විට බාධා අවහිරතා ඉස්මතු කළ හැක. බලාපොරොත්තු වන තරමට අන්‍යයන්ගේ ආධාරය උපකාරය නොලැබේ. එම නිසා තරමක් කල්පනාකාරී වන්න. උත්සාහයෙන් සාර්ථක ඉගෙනීමක් ලැබිය හැක. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත් ආකාරයට සිදු වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම් විය යුතුයි.

ජය වර්ණය – නිල්, අංකය – 06, දිනය – සිකුරාදා

වෘශ්චික – බාධා සහිතයි

ලග්නාධිපති කුජ තුන්වැන්නේ උච්චයි. කේතු සමග සිටියදී සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යම් යම් බාධා සහ අවහිරතා ඉස්මතු කළත් සිය උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. කෙසේ වුවත් අන්‍යයන්ගේ සහයෝගයෙන් සාර්ථක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් පෙන්වයි. සමගිය සාමයට සුළු වශයෙන් හෝ බාධා එල්ල විය හැකි නිසා බුද්ධමත්ව ක්‍රියා කළ යුතුයි. කෙටි ගමන්බිමන් කිහිපයක්ම යෙදේ.

ජය වර්ණය – රතු, අංකය – 09, දිනය – බ්‍රහස්පතින්දා

ධනු – බාධා සහිතයි

ලග්නාධිපති ගුරු එකොළොස්වැන්න වූ අයස්ථානයේ එහි අධිපති සිකුරු සමග සීටී. කේතු කුජ දෙවැන්නේ ද රාහු අටේ ද සිටීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බධා අවහිරතා සහ ගැටලු මධ්‍යයේ තම කටයුතු කිරීමට සිදු වේ. අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ඔබ බලාපොරොත්තු වන තරමට නොලැබේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ආදායම් ලැබීම පෙන්නුව ද හිටි හැටියේ මතු කරන සිද්ධීන් තුළ මුදල් පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සන් වන්න.

ජය වර්ණය – රන්වන්, අංකය – 03, දිනය – බ්‍රහස්පතින්දා

මකර – සමඵලයි

ලග්නාධිපති ශනි දොළොස්වැන්නේ සිටියදී සතිය ආරම්භ වේ. වෘත්තීය කටයුතු සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා සහ අවහිරතා ඉස්මතු වනු ඇති නිසා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ඉස්මතු වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වාසි ලැබේ. සමාජයීය කටයුතුවල යෙදීමෙන් සැනසීමක් ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි.

ජය වර්ණය – නිල්, අකය – 06, දිනය – සිකුරාදා

කුම්භ – ශුභඵල

ලග්නාධිපති ශනි අයස්ථානගතව සිටී. යෝගකාරක සිකුරු බලවත්ව නවයේ ගරු සමගයි. මෙම ග්‍රහ පිහිටීම් තුළ ඔබට මෙම සතිය තුළ ශුභඵල වැඩියෙන් උදා කරයි. උසස් අයගේ ආධාරය උපකාරය ලැබීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් වැඩපළ අධිකයි. කාර්යබහුල වේ. අධ්‍යාපන කටයුතවල යෙදී සිටින අයට ශුභයි. උනන්දුව තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි.

ජය වර්ණය – නිල්, අංකය – 08, දිනය – සෙනසුරාදා

මීන – සමඵලයි

ලග්නාධිපති ගුරු සිකුරු අටවැන්නේ සිටියදී සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකියා කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වේ. කල්පනාකාරී නොවුවහොත් ණය තුරුස්වීමේ ඉඩක් පවතී. ගෙදරදෙර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම් වන්න.

ජය වර්ණය – රන්වන්, අංකය – 03, දිනය – බ්‍රහස්පතින්දා