“ජිනීවා ගැටලුව සරල බසින්” – ආචාර්ය නාලක ගොඩහේවාගේ සටහන..

තිස් අවුරුද්දකට ආසන්න කාලයක් පුරා සිවිල් වැසියන් දහස් ගනනකට මරු කැඳවූ මිනීමරු කොටි ත්‍රස්ථවාදය 2009 දී අවසන් වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බටහිර බලපෑම් වලට යටත් නොවී අවසානය දක්වා යුද්ධය පවත්වාගෙන යාමට තීරණය කල නිසාය. එදා යුද්ධයේ අවසාන අදියරේදී බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ඩේවිඩ් මිලිබැන්ඩ් හා ප්‍රංශයේ විදේශ ඇමති බර්නාඩ් කුෂ්නර් ලංකාවට පැමිණ “ ඔබ විසින් දැන් යුද්ධය නතර කිරීම බටහිර රටවල අභිලාශය වේ “ කියා කී විට ඇබිලිපිටියේ වැව් තාවුල්ලේ සිට ලංකාවේ ජනාධිපතිවරයා ඔවුන්ට උත්තර දුන්නේ මෙසේය.

“මේ රට තව දුරටත් ඔබේ කොලනියක් නොවේ. ඒ තත්වය 1948 අවසන් වුනා.ත්‍රස්ථවාදය අවසන්වන තුරු මා කිසිසේත්ම යුද්ධය නතරකරන්නේ නැහැ. ලංකාවේ මිනිසුන් මැරෙන විට ඔබට එය ප්‍රවෘතියක් පමනයි. වේදනාව අපටයි. ලංකාවේ පාලකයා ලෙස මා කරන්නේ මගේ රටට අවශ්‍ය දෙය බව පමනක් මතක තබාගන්න”

එම නිර්භීත ස්ථාවරය මරබියෙන් සිටි ජාතියට නිදහස ගෙන දෙන්නට සමත්වුවද තමුන්ට අවනත නැති ආසියාතික නායකයෙකු ලංකාව තුලින් මතුවීගෙන එන බව දුටු බටහිර රටවල් තීරණය කලේ මෙම තර්ජනය හැකි ඉක්මනින් ඉවත් කල යුතු බවය.

බටහිර රටවල් දෙමල ඩයස්පෝරාවත් සමඟ එක්ව සැලසුම් කල ජිනීවා කුමන්ත්‍රණයට පදනම වන්නේ මේ අවශ්‍යතාවයය. ඔවුන් වැඩ පටන් ගත්තේ යුද්ධය අවසන් වන්නටත් පෙරය.

ආරක්ෂක හමුදා විසින් ප්‍රභාකරන් මරා දමා යුද්ධය අවසන් කල 2009 මැයි 19 දා ම ජර්මනිය ප්‍රමුඛ රටවල් 17ක් ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ රැස්වීමක් ඉල්ලා සිටියහ. ලංකාවේ මිනිසුන් යුධ ජයහග්‍රහණය සමරමින් කිරිබත් කද්දිම ජයග්‍රහණය පරාජයක් කිරීමේ කුමන්ත්‍රණයද දියත් විය. ජර්මනිය ඇතුලු රටවල් විසින් ඉල්ලාසිටි රැස්වීමට දිනය ලෙස ලැබුනෙ මැයි 26 හා 27 ය.

රැස්වීමට පෙර මැයි මස 23 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කි මූන් කඩිමුඩියේ ලංකාවට පැමිනියේය. මෙය කලින් සැලසුම් කොට තිබූ සංචාරයක් නොවේ. හදිසි තීරණයකි. ඔහු කීවේ ලංකාවේ තත්වය සියැසින්ම බලා ගන්නට ඔහුට අවශ්‍ය බවය. එහෙත් දශක ගනනාවක් පුරා කොටි ත්‍රස්ථවාදීන් අහිංසක සිවිල් වැසියන් සියදහස් ගනනක් මරාදමන කාලයේ එක්සත් ජාතීන්ගේ කිසිදු මහ ලේකම් වරයෙකුට ලංකාව ගැන එතරම් කම්පාවක් ඇතිවී නොතිබුනි.

මැයි 26 හා 27 පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ රැස්වීමට ජර්මනිය ඇතුලු රටවල් ලංකාවේ යුධ අපරාධ සිදුවී ඇති බවට චෝදනා කරමින් ඒ ගැන සොයාබැලිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කලහ. එහෙත් සාමාජික රටවල් 47 කින් සමන්විත මානව හිමිකම් කවුන්සිලයේ බහුතරටක් මේ යෝජනාවට සහාය දුන්නේ නැත. ඒ අනුව ජර්මනිය ඇතුලු රටවල ඉදිරිපත් කල යෝජනාව වැඩි චන්දයෙන් පරාජය කොට අනෙකුත් රටවල් විසින් යුද්ධය අවසන් කිරීම ගැන ලංකාවට ප්‍රසංශා කොට යෝජනාවක් සම්මත කරණ ලදී.

මේ පරාජයෙන් බටහිර බලවේග තම අරමුණ අතහැරියේ නැත. ලංකාවට එරෙහිව යම් තීන්දුවක් ගන්නට පසුබිම සකස් කිරීමට ක්‍රමවේදයක් අවශ්‍ය විය. ඒ සඳහා පසුබිම සකස් කෙරුනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා හරහාය.

මහ ලේකම් බෑන්කි මූන් මහතා කලේ ලංකාව ගැන සොයා බලා තමුන්ට පෞද්ගලිකව වාර්ථාකරන්නට කියා කමිටුවක් පත් කිරීමයි. එහි සභාපති ලෙස පත්වූයේ දරුස්මාන් නැමති මහතෙකි. මෙම කමිටුවේ වාර්ථාව දරුස්මාන් වාර්ථාව ලෙසද හැඳුන්වෙන්නේ ඒ නිසාය.

දරුස්මාන් කමිටු වාර්ථාවෙන් කියා තිබුනේ නිසැකවම ලංකාව තුල යුධ අපරාධ සිදු වී ඇති බවට සාක්ෂි ඇති බවයි.

ලංකාව යුද්ධය අවසන් කල ආකාරය ගැන ප්‍රශංසා කොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් ඒ වන විටත් සම්මතව තිබුන නිසා ලංකාව ගැන සොයන්නට පත්කල දරුස්මාන කමිටුව මහ ලේකම් වරයාගේ පෞද්ගලික දැනුම සඳහා කරුණු රැස්කිරීමට පත් කල එකක් මිස ආරක්ෂක මන්ඩලය හෝ මානව හිමිකම් කවුන්සිලය මගින් පත් කල එකක් නොවේ. දරුස්මාන් වාර්ථාව කිසිවිටක නීත්‍යානුකූලව සභාගත නොවුන නිසා එහි අන්තර්ගතයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල පිලිතුරු දීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාවක් නොලැබුනි.

කෙසේවෙත්තත් දරුස්මාන් කමිටු වාර්ථාව අනුව හොර රහසේම වැඩ ඇරඹී තිබුනි. ඒ අනුව යලිත් 2012 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් විය. එහිදී කියැවුනේ හමුදාව විසින් යුධ සමයේ මානව හිමිකම් කඩකිරීම් හා ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම් කලදයි සොයාබලන ලෙස ලංකා රජයෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා තාක්ෂණ උපදෙස් සපයන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරින්ගෙන් ඉල්ලා සිටින බවය. මෙම යෝජනාව කවුන්සිලය තුල සම්මත කරගැනීමට එහි අනුග්‍රාහකයෝ සමත් වූහ.

2013 යලිත් යෝජනාවක් ඉදිරිපත් විය. මෙවර එහි යුධ අපරාද වලින් ඔබ්බට ගොස් ලංකාවේ දේශපාලන තත්වය ගැනද සඳහන් විය. සුලු ජාතීන්ගේ ප්‍රශ්ණ විසදීම සඳහා බලය තවදුරටත් විමධ්‍යගත කල යුතුයැයි පවා යෝජනා කල මේ යොජනාවද සම්මත විය.

2014දී ඉතා දිගු යෝජනාවලියක් ඉදිරිපත් විය. ලංකාවේ හමුදාව විසින් යුධ සමයේ මානව හිමිකම් කඩකිරීම් හා ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම් කලාදැයි පූර්ණ පරීක්ෂණයක් කොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්ථාවක් සපයන ලෙස මෙවර මානව හිමිකම් කොමසාරින්ගෙන් ඉල්ලාසිටින ලදී. මේ යෝජනාව තුල ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන කරුණු රැසක් තිබෙන බවත් එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පවා පටහැනිව යාමක් බවත් කියමින් රටවල් ගනනාවක් මෙයට විරුද්ධ වුවද යෝජනාව සම්මත වූයේ රටවල් 12ක් චන්දය දීමෙන් වැලකී සිටි නිසාය. එම රටවල්ද යෝජනාවට ඍජුව විරුද්ධ වූවානම් එදා එය පරාජය වනු ඇත.

මේ වාර්තාව කරලියට එන්නට පෙර ලංකාවේ රජය වෙනස් විය. මහින්ද නායකත්වය දුන් සන්දාන රජය පරදා රනිල් මෛත්‍රී නායකත්වය දෙන යහපාලන රජය බලයට පැමිණි තිබුනි.

මහ කොමසාරිගේ වාර්ථාව සභාගත වුනේ 2015 සැප්තැම්බර් වලය. එය බොහෝ දුරට දරුස්මාන් වාර්ථාවට සමානකමක් දැක්වූ අතර දරුස්මාන් කමිටුව යොදාගත් අපට පිලිගත නොහැකි යම් මූලාශ්ර මෙම වාර්ථාවේ සම්පාදකයින්ද භාවිත කර තිබෙන බවත් , දරුස්මාන් වාර්ථාවේ අඩංගුවූ ලංකාව විසින් සම්පූරණයෙන්ම ප්‍රතික්ෂේප කල යුතු යම් වැරදී සංඛ්‍යලේඛන ආදියත් එම ආකාරයෙන්ම භාවිත කර ඇති බව පෙනී යයි.

නමුත් මෙම වාර්ථාව හොඳින් අධ්‍යයනය කොට එයට තර්කානුකූලව පිලිතුරු සපයනවා වෙනුවට ශ්‍රී ලංකාවේ නව රජය කලේ වාර්ථාව ඉදිරිපත්වූ දිනට පසුදිනම නිවේදනයක් නිකුත් කරමින් එය පිලිගැනීමය. මේ අනුව ශ්‍රී ලංකාවේ හමුදා විසින් යුධ අපරාද කලායැයි වාර්ථාවේ කියැවෙන චෝදනා කිසිදු වග විභාගයකින් තොරව යහපාලන රජය විසින් පිලිගෙන ඇත.

ලංකාවට අතිශයින්ම අහිතකර කරුණු රැසක් ඇතුලත්ව අලුත්ම ජිනීවා යෝජනාවක් 2015 සැප්තැම්බර් මස දී ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් ද පිලිගත් මේ වාර්ථාව පදනම් කර ගෙනය.

ජිනීවා 30 /1 යෝජනාවේ දේශපාලන මුහුණුවරක් ගත් කරුණු රැසක් අඩංගු වේ

– ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ස්වාධීන අධීක්ෂන ක්‍රමවේදයන් හඳුන්වාදීම. පෞද්ගලිකව නඩු පැවරීම, අතුරුදහන් වූවන් පිලිබඳව හා වන්දි ගෙවීම් පිලිබඳව කාර්යාල ආරම්බ කිරීම

– හමුදාවට අයිති ඉඩම් හැකිතාක් දුරට සිවිල් වැසියන්ට නිදහස් කිරීමට කටයුතු කිරීම

– ආරක්ෂක අංශ වලින් සිදුවූ අපරාධ සොයාබලා දඩුවම් කිරීම සඳහා ජාත්‍යන්තරයට පිලිගත හැකි වගවීමේ ක්‍රියාවලියක් ආරම්බ කිරීම. ඒ සඳහා අවශ්‍ය විශේෂ නීති සකස් කිරීම, විශේෂ අධිකරණවල සහ ජාත්‍යන්තර විනිසුරන්ගේ සහාය ලබා ගැනිම

– රජයේ නිලධාරීන් පත්කිරීමේදී විශේෂ සොයාබැලීම්. මානව හිමිකම් කඩකිරීම් හා මානව හිමිකම් නීති උල්ලංගනය කිරීම් වලට සම්බන්ධ අය රජයේ රැකියා වලින් ඉවත් කිරීම හා යලි බඳවා නොගැනීම.

– ත්‍රස්ථ්වාදය වැලැක්වීමේ පනත අවලංගු කොට ඒ වෙනුවට අන්තර්ජාතිකව පිලිගත හැකි නව නීති හඳුන්වාදීම

– බලහත්කාරයෙන් අතුරුදහන් කරවිම පිලිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තියට අත්සන් කිරීම හා එය ලංකාව තුල බලාත්මක කිරීම

– 13 වන සංශෝදනයට අනුව පලාත් සභාවලට සම්පූර්ණ බලතල ලබා දීම

– නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් හරහා තවදුරටත් බලය විමධ්‍යගත කිරීමට කඩිනමින් පියවර ගැනීම

මේ අවස්ථාවේ ලංකාව මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිදු රටක් නොකල දීන ක්‍රියාවක් කලේය. ඒ තමුන්ටම එරෙහිව වෙනත් රටක් විසින් ගෙනවිත් තිබූ යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දීම තුලින් මෙම යෝජනාවට එරෙහි වීමට ලංකාවට මිතුරු රටවලට තිබූ අවස්ථාව අහුරා දැමීමය.තමුන් ජාත්‍යන්තරය ජයගත්තා යැයි අපේ සමහර ලොක්කන් පාරම් බෑවේ මේ පාවා දීම කොටය. එය හරියට ලංකාවේ පාලනය බ්‍රිතාන්‍යයන්ට පාවා දීමට 1815 උඩරට ගිවිසුම අත්සන් කල ලංකාවේ රදලයන් “මේ ගිවිසුම හරහා අපි බ්‍රිතාන්‍යය ජයගත්තා” කීමක් හා සමානය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ඒකමතිකව සම්මත වන්නේ යහපාලන රජය කල මේ නිවට නියාලු පාවාදීම නිසාය. අපි සියලුදෙනාම අද එයට වන්දි ගෙවමින් සිටිමු.