තර්ජන ගර්ජන නොතකා ජන ගංගාවක් කොළඹට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංගමය හා ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන “ජන බලය කොළඹට” දැවැන්ත උද්ඝෝෂණය හෙට සවස දෙකට කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

අද දින පොලීසිය විසින් අධිකරණය හමුවේ පෙනී සිට මේ වෙනුවෙන් අධිකරණ නියෝග ලබාගන්නට උත්සාහ කලත්, සියළු අධිකරණ විසින් එම ඉල්ලීම් නිශ්ප්‍රභා කරණු ලැබිණ.

කොළඹට පිටවන සහ ඇතුල්වන සියළු මාර්ග අවහිර කරමින් ක්‍රියාත්මක කරන්නට යන උද්ඝෝෂණය වෙනුවෙන් ලක්ෂ හතරකට ආසන්න පිරිසක් සහභාගී වෙතැයි බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය දස දහසක පමණ බල ඇණි කොළඹට මේ වන විට කැඳවා ඇති අතර ඔවුන්ට කල හැකි දෙයක් නොමැති වන බවයි දේශපාලක විචාරකයින් සඳහන් කරන්නේ.

“යන්න නෙවෙයි ඉන්න එන්න” තේමාව නිසා කොළඹ වීදිවල මහ ජනතාව රැය පහන් කිරීම නිසා අග නගරය එකම අවුල් ජාලාවක් වන ලකුණු පෙන්නුම් කෙරේ.

කෙසේ වෙතත් බස් රථ ප්‍රවාහණ බලපත්‍ර අවලංගු කිරීම, විශේෂ රාජකාරී යොදා රාජ්‍ය සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීම, ලංගම වැඩ වර්ජනයක් බලෙන් ඇති කිරීම වැනි විවිධ උපක්‍රම තුලින් මෙම දැවැන්ත ජන රැළිය අසාර්ථක කරන්නට රජය උත්සහ දැරුවත් එම සියළු ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති බවත් හෙට දවස ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරන දිනයක් වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ මත පල කරති.