2019 ICC ලෝක කුසලානය දිනන්නත් කලින් ශ්‍රී ලංකාවට! මෙන්න විස්තරේ…

ලෝකයේ ක්‍රිකට් රජුන් අභිෂේක ගන්වන මහා තරඟාවලිය ICC ක්‍රිකට් ලෝක කුසලානය. 2019 ලෝක කුසලානය පවත්වන්න මේ වෙද්දී ලහි ලහියේ කටයුතු සූදානම් කරනවා.

ඒ අතරේ ලෝක කුසලානය ලෝකය පුරා සංචාරය කරන්න අගෝස්තු මස 27 වනදා ආරම්භ වෙනවා. ඩුබායි හි පිහිටි ICC මුලස්ථානයෙන් තමයි මේ චාරිකාව ආරම්භ වෙන්නේ. ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා නොකරන රටවල් වලද ICC ලෝක කුසලානය ප්‍රදර්ශනය කරන්න මෙවර තීරණය කරලා තියෙනවා.

ඒ අනුව නේපාලය, අමෙරිකාව, ජර්මනිය ඇතුළු රටවල් 11 කට ලෝක කුසලානය රැගෙන යන්න නියමිතයි. මෙවර ලෝක කුසලානය රටවල් 21 ක පිහිටි නගර 60ක ප්‍රදර්ශනය කෙරෙනවා. ICC ය කියන්නේ මෙවර ලෝක කුසලානය ප්‍රදර්ශනය කරන්නේ ක්‍රීඩා ලෝලීන් හීනෙකින්වත් හිතපු නැති තැන් වල කියලා.

ප්‍රධාන නගර වලට අමතරව පාසැල්, ක්‍රිකට් ලෝලීන්ගේ නිවාස, විශ්ව විද්‍යාල ඇතුළු වෙනස්ම තැන්වල ලෝක කුසලානය ප්‍රදර්ශනය කරනවා. අගෝස්තු 27 වනදා ඩුබායි වලින් ආරම්භ කරන සංචාරය ළිවලින් ඕමානය, අමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව් දුපත්, ශ්‍රී ලංකාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, කෙන්යාව, රුවන්ඩා, නයිජීරියාව, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනියට ගමන් කරනවා.

අවසානයේ 2019 පෙබරවාරි මස 19 වනදා බ්‍රිතාන්‍යට පැමිණෙන්න නියමිතයි. සැප්තැම්බර් මස 20 වෙනිදා තමයි ලෝක කුසලානය ලංකාවට එන්නේ. සැප්තැම්බර් මස 20 සහ 21 යන දිනවල කොළඹදී ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම සැප්තැම්බර් මස 24-27 දිනයන්හි හික්කඩුව සහ ගාල්ලේදී අයිසිසි ලෝක කුසලානය දැකබලා ගන්න ඔබටත් පුළුවන්.