“ජන බලය කොළඹට” රාජ්‍ය ආයතන ජනතා අත් අඩංගුවට ගැනීමට සැලසුම්…

වත්මන් ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව, ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කරන “ජන බලය කොළඹට” නම් වැඩ සටහන සැප්තැම්බර් 5 පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. එහි රහස් මෙහෙයුම පිළිබඳව SL News Lanka වෙත වාර්තා වේ.

ලක්ෂ තුනකට අධික ජනතාවක් කොළඹට ගෙන ඒමට සියළු කටයුතු සූදානම්ව ඇති බව ඒකාබද්ධයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. SL News Lanka වෙත වාර්තා වන ආකාරයට ඔවුන්ගේ කොළඹ වටලන සැලසුම පහත පරිදි වේ.

පළමුවෙන් කොළඹ නගරයට ඇතුල් වන වටරවුම් හයක් සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට සැලසුම් කර තිබේ. බොරැල්ල හංදිය, තුම්මුල්ල හංදිය, කොල්ලුපිටිය හංදිය, ලේක් හවුස් වටරවුම හා පංචිකාවත්ත මංසන්ධිය එලෙස අවහිර කරන මංසන්ධි ලෙස වාර්තා වී ඇත. ඒ අනුව මුළු කොළඹ නගරයටම ඇතුල් වීමේ හා කොළඹ නගරයෙන් පිටවීමේ අවස්ථාව කිසිවෙකුට හිමි නොවන බව ඉතා පැහැදිලිය.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ දෙනෙකුගේ නායකත්වයෙන් යුතුව රාජ්‍ය අමාත්‍යාංශ පහක් ජනතා අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියක් සිදු කිරීමටද ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටී. මහින්දානන්ද අළුත්ගමගේ හා ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධනත්වයෙන් මුදල් අමාත්‍යාංශයත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික රූපවාහිණියත්, කනක හේරත්, ශෙහාන් සේමසිංහ හා ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත්, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන හා ජානක වක්කුඹුර මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කාර්‍යාලයත්, රංජිත් සොයිසා, ප්‍රේමලාල් ජයසේකර හා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරුන් හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයත් ජනතා අත් අඩංගුවට පත් කිරීමේ දරුණු වැඩ පිළිවෙලක් මොවුන් ක්‍රියාත්මක කරමින් පවතී.

ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් පංචිකාවත්ත, බොරැල්ල සහ ලේක් හවුස් වටරවුම ස්ථානත්, නාමල් රාජපක්ෂ, දිලුම් අමුණුගම, ඩී.වී. චානක හා රමේෂ් පතිරණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය, තුම්මුල්ල ස්ථාන වල දැවැන්ත විරෝධතාවයන් සිදු කරන්නටත් කටයුතු කරමින් සිටී.

මෙම ක්‍රියාවලිය රාජ්‍ය බුද්ධි අංශවලට අනාවරණය වීමත් සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අති විශාල පොලිස් බල ඇණි කොළඹට කැඳවීමට කටයුතු කලත් ඒකාබද්ධ විපක්ෂය විසින් ඒ සඳහාද යොදා තිබෙන්නේ ඉතා ප්‍රභල විකල්පයක් බව වාර්තා වේ. ඒ විකල්ප පොලිස් බල ඇණි ගෙන එන ප්‍රදේශ අරමුණු කරගෙන එම ප්‍රදේශවල ක්ෂණික දරුණු ගණයේ විරෝධතා ප්‍රාදේශීය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් දියත් කිරීමයි.

මේ සියළු කටයුතු ඉතා විනීතව කලහකාරී නොවී සිදු කිරීමට ඒකාබද්ධ විපක්ෂය සියළු කටයුතු සිදු කොට ඇති බව වාර්ථා වේ.

මූලාශ්‍රය: ලංකා ඊ නිව්ස්