සිදුකල අපහාසයට කෝටි 5ක වන්දි ඉල්ලා මහින්දානන්ද නඩු මඟට…

අසාධාරණ ලෙස පොදු දේපල පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් සිදුකළ අපහාසය වෙනුවෙන් පොලිස් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සහ එහි ස්ථානාධිපතිවරයාගෙන් රුපියල් කෝටි 5 ක වන්දියක් අය කර දෙන මෙන් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සහ එම කොට්ඨාශයේ ස්ථානාධිපති ආර්.එ.සී.පී.රණසිංහ යන මහත්වරු නම් කර ඇත.

පැමිණිලිකාර මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා කියා සිටින්නේ පසුගිය ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදාහැරීම තුළින් රජයට රුපියල් මිලියන 39ට වැඩි පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර විමර්ශනයක් සිදුකරමින් පවතින බවයි.

එසේ විමර්ශනයක් පැවැත්වෙද්දී එම කරුණට අදාලවම විත්තිකරුවන් පසුගිය අප්රේල් මස 16 වනදා පොදු දේපල පනත යටතේ තමන්ව අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීම සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කළ බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කළේය.

එම චෝදනාව පොදු දේපල පනත යටතේ ඉදිරිපත් කළ නොහැකි බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් තීන්දු කර තිබියදී වගඋත්තරකරුව තමන්ව එම පනත යටතේම අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ රිමාන්ඩ් බාරයට පත් කිරීමේ චේතනාවෙන් බව ද ඔහු පෙන්වා දෙයි.

මේ තුළින් විත්තිකාර පොලිස් නිලධාරීන් තම කීර්ති නාමයට හා දේශපාලන දිවියට බරපතල අගතියක් සිදු කර ඇති බව සඳහන් කරන පෙත්සම්කර මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා ඒ වෙනුවෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර ගෙන් මෙම කොට්ඨාශයේ ස්ථානාධිපති රණසිංහ යන අයගෙන් රුපියල් කෝටි 5ක වන්දියක් අය කර දෙන මෙන් ඉල්ලා මෙම නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබේ.