2020 ජනපති සටනේ අලුත්ම අපේක්ෂකයා තාපසයෙක්. මෙන්න විස්තරේ…

2020 ජනපති සටන දේශපාලනිකව උණුසුම් වී තිබේ. ප්‍රධාන දේශපාලන ධාරාවන්හි අපේක්ෂකයන් දෙදෙනා පිළිබදව රටේ දැඩි අවදානයක් හිමිව තිබේ. මේ අතර වෙනත් සුලු පක්ෂ කිහිපයකින්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කිහිපදෙනෙකු පිලිබදවද වාර්තා පළවේ.

2020 ජනපති සටනට ඉදිරිපත් වන තවත් අපේක්ෂකයෙක් පිළිබදව නෙත් ගොසිප් වෙත වාර්තා වේ. ඔහු අරණක තපස් රකිනා තාපසයෙකි. නමින් හසිත තාපසයන් වන එතුමා වසර 28ක් තිස්සේ සිරිපාද උයනේ තපස් රකිමින් ජීවත් වේ. ගාල්ලේ උපන් තාපසතුමා පවසන අන්දමට එතුමා ගිහිකළ සිවිල් ඉන්ජිනේරුවරයෙකි.

තාපසතුමා පවසන අන්දමට දේශපාලනයට පිවිසීමට සියලු මූලික කටයුතු එතුමා සිදු කර අවසන් ය. එනම් දැනටමත් හසිත තාපසතුමා සිය දේශපාලන පක්ෂය සාදා අවසන් ය. වසර 28ක් තපස් රැක නැවතත් ගිහි ජීවිතයට පැමිණ ජනපති සටනට ඉදිරිපත් වීම පිළිබදව තාපසතුමා පවසන්නේ මෙවන් අදහසක්.

“අවුරුදු විසි අටක් තපස් රැකලා ආයේ එන්නේ දැන් ආගමත් විකෘති වෙලා, සමහර හාමුදුරුවරු රස්සාවක් කරලා සල්ලි හොයනවා, මම විතරක් විමුක්තිය හොයලා බැහැ, රට බේරගන්න ඕන, ඒකයි මම පෙරට ආවේ”

තාපසතුමා බලයට පැමිණි පසු නිදහස් සෞඛ්‍ය සේවයට සහ අධ්‍යාපනයට යම් කිසි මුදලක් අය කිරීමට සැලසුම් කර තිබේ. තාපසතුමාට අනුව නොමිලයේ ලබා දීම නිසා සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය ජනතාවට වටින්නේ නෝමැති නිසා මෙම තීරණය ගෙන ඇත.

තාපසතුමා බලයට පැමිණි පසු වයස අවුරුදු 16 – 55 අතර සැමට රැකියාවක් කිරීම අනිවාර්ය කරමින් නීතියක් පැනවීමට නියමිතය. මීට අමතරව ගම් මට්ටමින් කසළ ශෝධකයො පත් කර කුණු ප්‍රශ්නයට විසඳුම් ලබා දීමටද තාපස තුමා සැලසුම් කර තිබේ.

මේ අතර තාපසතුමා වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහගේ ඥාතියෙක් බවද කියවේ. තාපසතුමා පවසන අන්දමට එතුමා සකස් කළ ව්‍යවස්තාව දැක සතුටු වූ වර්තමාන රජයේ ඉහළම පුද්ගලයෙක් අමාත්‍යධූරයක් ලබා දීමට ආරාධනා කර තිබේ. නමුත් තාපසතුමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.