අයිෆෝන් එකක් අරන් නොදුන් නිසා සිරුරට ගිණි තියාගත් පිළියන්දල තරුණියගේ කතාව මෙන්න..

පිළියන්දල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක්‌ සිය සිරුරට භූමිතෙල් වත්කර ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමේ අවාසනාවන්ත සිදුවීමක් පිළිබදව වාර්තා වෙනවා. මේ සදහා හේතුව වී තිබෙන්නේ ඇයගේ දෙමාපියන් විසින් ඇයට නවීන ජංගම දුරකථනයක් ලබා නොදීමයි.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි බිනුරි ධනංජනා හෙට්‌ටිආරච්චි නැමැති තරුණියක් මෙලෙසින් සියදිවි නසා ගෙන තිබේ. අවාසනාවන්ත සිදුවීම පිළිබදව අදහස් දක්වන දැරියගේ පියා දක්වන්නෙ මෙවන් අදහසක්,

“දුව අයිෆෝන් එකක්‌ ඉල්ලා මා සමග රණ්‌ඩු කළා. තව දවස්‌ දෙකකින් ෆෝන් එක අරන් දෙන්නම් කියලා අපි දුවට කිව්වා. ඒත් ඇය භූමිතෙල් දමාගෙන අම්මා ඉදිරියට ගිහින් ගිනි තබාගෙන තිබුණා…”

“මියගොස්‌ සිටින්නේ මගේ පළමුවැනි දරුවා. මට තවත් දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. මියගිය දුව ටිකක්‌ මුරණ්‌ඩුයි. මීට පෙර අවස්‌ථා කිහිපයකදීම අපිත් සමග රණ්‌ඩු කර ගෙදරින් තනියම ගිහිල්ලා තිබෙනවා. එසේම එවැනි අවස්‌ථාවල අපි පොලිසියට ගොස්‌ දැනුම් දී ඇයව සෙව්වා. අවසානයේ පිළියන්දල පොලිසියේ ස්‌ථානාධිපතිතුමාට කරන ලද දැනුම් දීමට අනුව එතුමා දරුවාව කැඳවා ඉතා ආදරයෙන් කතාකර හැම දෙයක්‌ම පැහැදිලි කර දුන්නා. කිසිම අවස්‌ථාවක ගෙදරින් තරහ වී පිට වී නොයන ලෙසත්, දෙමාපියන් සමග අමනාප නම් පොලිසියට පැමිණෙන ලෙසත් කියා ඉතා ආදරයෙන් උපදෙස්‌ දුන්නා. ඇය ඒ කිසිවක්‌ පිළිබඳව විශ්වාසය තැබුවේ නැහැ.

අවසානයේ ඇය අයිෆෝන් එකක්‌ ඉල්ලා මා සමග රණ්‌ඩු කළා. ඇයගේ තත්ත්වය දන්නා නිසා අපි ඇයට අයිෆෝන් එකක්‌ අරන් දීමට තීරණය කළා. තව දවස්‌ දෙකකින් ෆෝන් එකක්‌ අරන් දෙන්නම් කියලා අපි ඇයට කිව්වා. මම ඒ මුදල් කෙසේ හෝ හොයාගෙන අයිෆෝන් එකක්‌ දුවට අරන් දෙන්නයි හිටියේ. නමුත් ඇය පසුගිය ජුනි 26 වැනිදා භූමිතෙල් දමාගෙන අම්මා ඉදිරියට ගිහින් ගිනිතබාගෙන තිබුණා.

අපි ඇයගෙන් ඇසූ විට ඇය කිව්වේ තාත්තා ෆෝන් එකක්‌ අරගෙන දෙයි කියලා හිතුවේ නැහැ කියලයි.”

“එසේම ඇය අම්මා බය කිරීමට මේ දේ කළ බවත් කිව්වා. මුලින්ම අපි ඇයව කළුබෝවිල මහ රෝහලට රැගෙන ගියා. එම රෝහලින් ඇය කොළඹ ජාතික රෝහලට මාරු කළා. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ජුලි 14 වැනිදා සවස 3.00 ට විතර දුව මියගිය බව දැනගත්තා”