මල්වානේ සුපිරි මන්දිරය, බැසිල් රාජපක්ෂගේද..? ඇත්ත කථාව මෙන්න

මල්වාන ඉඩම හා නිවස (මෙය නිවසක් නොව නව පන්නයේ සංචාරක නිවහනකි) තමාට හිමි බව මුදිත ජය‍කොඩි නම් පුද්ගලයා විසින් මීට පෙර දිවුරුම් ප්‍රකාශ කීපයකින් ම ප්‍රකාශ කර තිබේ. එහෙත් ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ අණ පරිදි පසුව තම මුල් අදහස වෙනස් කරමින් දේපළ බැසිල් රාජපක්‍ෂ මහතාට අයිති බව ඔහු ප්‍රකාශ කර ඇත. වාර්තා වන ලෙස ආණ්ඩුවේ ප්‍රබලයා විසින් මුදිත ව බ්ලැක්මේල් කර තිබේ. එසේ කරන්නේ මුදිතගේ සමාගම විසින් භාරව කටයුතු කල පැලවත්තේ යුධ හමුදා මූලස්ථානයට අදාළ ගෘහ නිර්මාණ කටයුතු සම්බන්ධ ටෙන්ඩර් පත්‍රිකාවේ අඩුපාඩුවක් සොයා ගනිමිනි. අදාළ වරද නිසා තම ඩෙන්ඩරය අවලංගු කර ඔහුට ගෙවූ මුදල් ආපසු අයකර නොගැනීමට නම් දේපළ බැසිල් රාජපක්‍ෂ මහතාට හිමි බව කියන ලෙස ඔහුට බලපෑම් කර ඇත.

බැසිල් රාජපක්‍ෂ මහතාට නිවසක් තැනීමට අවශ්‍ය වූයේ නම් රාජපක්‍ෂවරුන්ට කිසිදු ඥාතිත්වක් නැති පුද්ගලයෙකුගේ නමට එය සිදු කිරීමට අවශ්‍ය නැත. තම නමට ම නිවසක් තැනීමට ඔහුට බාධාවක් නැත.

ඇත්ත වශයෙන් ම එවක රටේ බොහෝ ඉඩම් හා අලුතින් නිර්මාණය වූ හෝටල් හා නිවෙස් ද රාජපක්‍ෂවරුන්ට අයිති බවට කටකතා රටපුරා ප්‍රචලිතව පැවතුණි. මෙම ඇතැම් කතා නිර්මාණය කළේ අදාළ දේපළ හිමිකරුවන් විසින්මය. ඒ තම දේපළ ආරක්‍ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස හා ප්‍රචාරයක් ද ලෙසයි. පසුගිය සතියේ අප පාසිකුඩා ‘මාලු මාලු’ හෝටලයට අපගේ සිසුන් පිරිසක් ද සමග ගිය අවස්ථාවේ, එම හෝටලය විසින් අප සිසුන්ට ස්ථානය ගැන විස්තර ලබා දීමට වෙන් කර සිටි නිලධාරියා පැවසූයේ එවක තම හෝටලය නාමල් රාජපක්‍ෂගේ බව රටපුරා ප්‍රචාරය වීම තමන් නොමිළේ ලැබූ මහත් ප්‍රචාරයක් වූ බවයි. එවැනි හෝටලයක් තිබෙන බව බොහෝ අය දැන ගත්තේ ද මේ හරහා බව ඔහු ප්‍රකාශ කළේ ය. මාලු මාලු හෝටලය අයිති චන්ද්‍ර වික්‍රමසිංහ නම් මහත්මයෙකුට ය. මේ අතර, බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉහත හෝටලය හා ඒ ආසන්නයේ ඇති ‘අමායා බීච්’ හා එම ප්‍රදේශයේ තව බොහෝ හෝටල් ද විවෘත කර තිබූ නිසා එම හෝටල් ඔහුගේ බවට ද එවක ප්‍රචාරය විය. තාමත් එම කතා පිළිගන්නා පිරිස් මහින්ද කඳවුර තුළ ද සිටීම මගින් කියවෙන්නේ පතුරුවා හළ ඒ ප්‍රචාර කොතරම් ප්‍රබල ද යන්නයි.

මහින්ද පතිරණ