ඇලකන්දවත්තේ කාණු ගෙදර “රංජි” කියන කතාව මෙන්න..

ටෙලි නාට්‍යය සඳහා රංගන දායකත්වය ලබාදෙමින්, ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඔහු බොහෝ දෙනෙකු හඳුනාගන්නේ ඇලකන්දවත්තේ කාණු ගෙදර ‘රංජි’ ලෙසය. මේ කතාබහ ඔහු සමගය. ඔහු රොහාන් විජේතුංගය.

මුලින්ම මේ දිනවල සිදුවෙන නිර්මාණ කටයුතු ගැන කතා කරමු?

‘කෝටිපතියෝ’ හා ‘සිල්ලර සමනල්ලු’ ටෙලි නාට්‍යය දෙකේ රෑගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. ඊට අමතරව අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් ආරම්භ වුණා. එය ‘නීල පබළු’. ඒ ටෙලි නාට්‍යයත් ඉදිරියේ දී දකින්න ලැබෙයි. ඒ වගේම ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාගේ අලුත්ම වේදිකා නාට්‍යයේ පුහුණු වීම් කටයුතු සිදු කෙරෙනවා. ඒ කටයුතු තමයි නිර්මාණ පැත්තෙන් ගත්තම මේ දවස්වල සිදු වෙන්නේ.

‘සිල්ලර සමනල්ලු’ හා ‘කෝටිපතියෝ’ නාට්‍යවල ඔබ රංගන දායකත්වය ලබාදෙන චරිත දෙක තරමක් ඒකාකාරී බවක් තියෙනවා කියලා කිව්වොත්?

යම් යම් සමානතා දකින්න තිබෙනවා. ඒ චරිත දෙක නාට්‍යය තුළ ස්ථාන ගත කිරීම හා ඒ චරිත නිරූපණයත් එක්ක සමානකමක් දකින්න තිබුණත්, මම මුල සිටම උත්සහ කළේ මේ චරිත දෙක එකක් නොවී පවත්වාගෙන යන්න. මම හිතන්නේ එය සාර්ථකයි කියලා. ප්‍රේක්ෂකයන්ගේ අදහස් එක්ක මම හිතනවා ඒ චරිත දෙකේ වෙනසක් තිබෙනවා කියලා. ‘රංජි’ කියන්නේ හඬ නගා කතා කරන, කියන දෙයක් අහන්නේ නැති හිතුවක්කාර චරිතයක්. කාබුල් වැඩියේ කතා කරන කෙනෙක් නෙමෙයි. අනිත් අය කියන දෙයක් අහනවා. රංජිට භාවිත කරන භාෂා විලාසය මම කාබුල්ට පාවිච්චි කරන්නේ නැහැ. ‘රංජි’ කරන දේවල් කාබුල් කරන්නෙත් නැහැ. ප්‍රේක්ෂකයන් මේ චරිත දෙක දෙවිදිහකට තේරුම් ගෙන තිබෙනවා. ඒ නිසා මම හිතනවා ඒ උත්සහය සාර්ථකයි කියලා.

එකම කාලයක රූගත වන ටෙලි නාට්‍යය දෙකක මෙවැනි චරිත දෙකක් භාර ගැනීම අභියෝගාත්මක නැද්ද?

අභියෝගයක්. නමුත් මම කැමති නැහැ මට ලැබෙන අවස්ථාව මග ඇරගන්න. මම උත්සහ කරන්නේ අභියෝගවලට මුහුණ දෙන්න. මුලින් මට එහි යම් අපහසුතාවයක් දැනුණා. කාලයක් එකම චරිතය කරලා තව චරිතයකට යොමුවෙද්දී, ඒ චරිතයේ සමහර දේවල් එනවා. නමුත් එය අඩු කරගෙන තිබෙනවා. මම හිතනවා මම අභියෝගය භාරගන්න.

මෙතනින් පස්සෙත් මෙවැනි ඒකාකාරී චරිත ලැබෙයි කියලා ඔබ හිතනවද?

‘නීල පබළු’ ටෙලි නාට්‍යයේ මං රංගනයෙන් දායක වෙන්නේ එවැනි චරිතයකට නෙමෙයි. මෝසතර නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනයක ඇඳුම් මෝස්තර නිරූපණ ශිල්පියෙක් සහ නිරූපන ක්ෂේත්‍රයට යොමුවන්නන් පුහුණු කරන කාර්යයේ නියැළී සිටින චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. ඔහු ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය තුළත් කටයුතු කරනවා. මේ චරිතය මම දායක වූ චරිතවලට වඩා ලොකු වෙනසක් තිබෙන චරිතයක්.

මේ වනවිට වැඩි වශයෙන් ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ඔබ වේදිකාවටත් ඉඩක් වෙන් කරන්න හිතුවේ ඇයි?

වේදිකාව තමයි නළුවෙක්ට තිබෙන විශ්වවිද්‍යාලය. අපි ටෙලි නාට්‍යයකට ඇවිත් දායක වෙන විට අපි ළඟ තිබෙන දේවල් තමයි දහනය කරන්නේ. අපිට යම් යම් දේවල් එකතු කරන තැන තමයි වේදිකාව. එහි තමයි අපේ පුහුණුවීම් තියෙන්නේ. නළුවෙක් ලෙස අපේ පුහුණුවීමි තිබෙන්නේ එතන. අපිට වේදිකාවේ තමයි කාලයක් තියෙන්නේ. එහි ගොඩක් දේවල් හොයන්න පුළුවන්. අලුත් දේවල් හැම මොහොතකම එකතු කර ගන්නවා. අපි ඉන් ලබාගන්නා දේවල් තමයි ටෙලි නාට්‍යය තුළ දහනය කරන්නේ. නළුවෙක් වුණාම ඒ පුහුණුව තියාගන්න ඕන. ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ අඩු කාලයකින් වැඩි කොටසක් රූගත කරන්න තමයි උත්සහ කරන්නේ. එහෙම වුණාම නළුවෙක්ට පුහුණුවීම් කරන්න තියෙන අවස්ථා අඩුවෙනවා. නමුත් වේදිකාවේ සජීවී අත්දැකීම නිසා පෙර සූදානම් වීම ඉතාම හොඳින් කරනවා. ඒදේත් එක්ක අපිට විවිධ අත්දැකීම් ලැබෙනවා. ඒ නිසා වේදිකාව මඟහැර නොයා ඒ තුළ කටයුතු කළ යුතුයි කියන දේ මම විශ්වාස කරනවා.

එහෙම ලබාගන්නා දැනුම හෝ මුදාහරින්න පුළුවන් ටෙලි නිර්මාණ බිහිවෙනවද? විශේෂයෙන් ගුණාත්මක නිර්මාණ කියන කාරණය ගැන වැඩි වශයෙන් කතා කරනවා?

නිර්මාණයේ ගුණාත්මක භාවය හොඳ නරක කොහොම තීරණය කරනවද කියලා මට කියන්න බැහැ. නමුත් හැම අධ්‍යක්ෂකවරයෙක්ම උත්සහ කරන්නේ හොඳ නිර්මාණ කරන්න. අපි නළුවන් ලෙස අලුත් දේවල් ඒ අයට ලබාදෙනවා නම්, ඔවුන් ඉතාම කැමතියි. රංගන ශිල්පියෙක් ලෙස දැනුම, අත්දැකීම් නැත්තම් එය සිදුකරන්න අපහසුයි. ඕනෑම දෙයක සීමාවක් තිබෙනවා. ඒ සීමාව තුළ සිට නිර්මාණකරුවෙක්ට කළ හැකි උපරිම දේ තමයි ඔවුන් කරන්නේ. ඒ නිර්මාණවලට ලැබෙන මුදලත් එක්ක තමයි මේ දේවල් සිදු වෙන්නේ. ඒ නිසා ඒ මූල්‍යය පැත්ත ගැනත් අවධානය යොමුකරමින් ඔවුන්ට උපරිමය ගෙන එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

රොහාන් ඉදිරියේදීත් ටෙලි නාට්‍යය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවද?

මේ කාලයේ ටෙලි නාට්‍යයවලට වැඩි කාලයක් වෙන්කරලා තිබුණත්, සිනමාවට යොමුවීමට මම ලොකු ආසාවකින් ඉන්නවා. අවස්ථාවක් ලැබිලා තිබෙනවා, අගෝස්තු මාසයේ ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. සිවගුරු නාදන් මහත්තයා තමයි මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ. ඔහු හැමවිටම මට කිව්ව දෙයක් තමයි සිනමාව කියන්නේ බැරෑරුම් මාධ්‍යයක්, ඒ නිසා තාක්ෂණය හා රංගනය ගැන තව ඉගෙන ගන්න කියලා. සිනමා නිර්මාණයක් බලන්න ප්‍රේක්ෂකයන් සැදීපැහැදී ඉන්නවා. ඒ වෙනුවෙන්ම තමයි ඔවුන් සිනමාශාලාවලට පැමිණෙන්නේ.

රොහාන්ට මතක් කළ යුතු පිරිසක් ඇති?

මේ ගමන මම තනියම ආපු ගමනක් නෙමෙයි. ගොඩක් අය මට උදව් කරලා තිබෙනවා. විශේෂයෙන් මගේ පාසල ඇහැලියගොඩ ජාතික පාසල තමයි මම මුලින්ම හැදුණ තැන. නිවේදකයෙක්, කථිකයෙක් ලෙස ඉදිරියට එන්න මගේ පාසලේ ගුරුවරිය වූ රමණි වන්නකු ගුරුතුමිය තමයි මාව එතනට ගෙනියන්න මූලික වුණේ. ඉන් පසු කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට ඇතුළත් වුණා. එහිදී නාට්‍යය හා රංග කලාව පිළිබඳ උපාධිය හැදෑරුවා. එහිදී මට නාමල් ජයසිංහව මුණගැහෙනවා. ඔහු තමයි සිවගුරුනාදන් මහතා මාව හඳුන්වා දෙන්නේ. ඔහු තමයි රොහාන්ව ලංකාවෙ මිනිසුන් දන්න කෙනෙක් බවට පත්කරන්නේ. කෞෂල්‍යා ප්‍රනාන්දු, චන්දන අලුත්ගේ, ප්‍රසන්න මහගමගේ, තුමිදු දොඩන්තැන්න වැනි අය මට ගොඩක් උදව් කළා. ‘බොහිමියානුවා’, ඒ චරිතයට හාත්පස වෙනස් චරිතයක් ‘මෙඩි සිනා’ තුළින් ලැබෙනවා. ඉන්පසු ‘කළු කුරුල්ලා’ හි ‘ඩිංගියා’ චරිතයට පසු ‘ඇලකන්දවත්තේ කාණුගෙදර රංජි’, ‘හුළං ගෙදර මාරසිංහ’ වැනි චරිතත්, ‘සිල්ලර සමනල්ලු’ නාට්‍යයෙහි ‘කාබුල්’ චරිතයත් කරන්න මට ලැබුණා. ඒ හැමදෙනාටම ස්තුතිවිය යුතුයි. අම්මා, තාත්තා, පෙම්වතිය, අක්කා මතක් කළ යුතුයි.

නිදුක් මදුෂික