බැසිල් – ගෝඨා ජනපතිවරණ සටනේ ඇතුල් පැත්ත…

බැසිල් – ගෝඨා වලියේ ඔබ නොදැකපු බරපතලම තත්ත්වය කියන්නට කාලය හරි…

ඉදිරි ජනපතිවරණයේ මහින්ද පාර්ශ්වයේ අපේක්ෂකයා බැසිල්ද ගෝඨාද, පහුගිය දිනවල සමාජ ජාලා වල ලැව් ගින්නක් සේ පැතිරුණ ප්‍රශ්ණයයි.. එකම කඳවුරක වුන් දෙපැත්තට බෙදී බැසිල්ව හා ගෝඨාව තමන්ට අයිති කර ගැනීමේ දැවැන්ත මෙහෙයුම් වල යෙදී සිටිති. බැසිල්ගේ උපන් දිනය දා නෙළුම් මාවත කාර්යාලයේදී මම මගේ මිතුරෙකු හා මෙසේ කීවෙමි.

“මචන්, ගියපාර සර්ගෙ බර්ත්ඩේ එකට ගෙනාපු කේක් එක කන්නවත් මිනිස්සු මදි වුනා.. අපි දිනලා තියෙන තරම තමයි මේ පේන්නේ…”

ඊයේ වියත්මග අවසන වෙනත් මිතුරෙකු හා මම මෙසේද කීවෙමි.

“මචන්, මීට අවුරුදු දෙකකට විතර කලින් ධනසිරි අමරතුංගගෙ ගෙදරට ගෝඨා එනවා කිව්වම පණහක් ආවෙ නෑ මචන්.. මේ තමයි අපේ ජයග්‍රහණයේ පෙරනිමිති..”

එතකොට මොකක්ද මේ වෙලා තියෙන්නේ.. මේ රාජපක්ෂවරුන්ගේ සුවිශේෂී උපාය උපක්‍රම ලෙස දකින්නට මම මදකට හෝ පැකිලෙන්නේ නැත. සාමාන්‍ය මිනිසාට මෙය කඳවුරු දෙකක් ලෙස දකින්නට ඕනෑ තරම් ඉඩ ඇත. ඕනෑ තරම් නිදහස ඇත. දේශපාලන කියවීමක් තුල බලන කල, වඩාත් මෑතදී මේ රටේ හැට දෙලක්ශයක් ජනතාව මෙන්ම වත්මන් ආණ්ඩුව මුහුණ දුන් බරපතලම ප්‍රශ්ණයට තමන් මුහුණ නොදෙන්නට රාජපක්ෂවරු ඉතා සියුම්ව තම කටු සටහන පාට කරමින් සිටී. මොකක්ද ඒ ගැටළුව..?

ජනවාරි 8 මේ ආණ්ඩුව බලයට ආවේ ආඩි හත් දෙනාගේ කැඳ හැලිය ලෙසිනි. දෙමල සංධානයත් හෙල උරුමයත් මුස්ලිම් කොංග්‍රසයත් පමණක් නොව, ජවිපෙත් එක්සත් ජාතික පක්ෂයත් එකට සිට ගණු ලැබිණ. මේ සැමටම තිබුනේ එක අරමුණකි. ඒ රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමයි. නමුත් රට පිළිබඳ ඔවුන්ට කිසිදු දැක්මක් නොවීය. ආර්ථිකය ගොඩ නැගීම, සංවර්ධන කටයුතු අඛණ්ඩව කරගෙන යෑම, ජනතා සහන ලබාදීම්, ජාත්‍යාන්තර සබඳතා පවත්වාගැනීම්, ජාතික ආරක්ෂාව පිළිබඳ ක්‍රියාවලියේ මෙහෙයුම් කටයුතු වැනි රාජ්‍යතන්ත්‍රික කටයුතු පිළිබද කිසිදු වැඩසටහනක් තබා අදහසකුදු ඔවුන් සතු නොවීය. නමුත් මේ වනකොට රාජපක්ෂවරුකරමින් සිටින්නේ කුමක්ද?

ගෝඨා, වියතුන් වෘත්තීයවේදින් තරුණයින් සමඟ කඳවුරු බැඳ තිබේ.. රටකට අවශ්‍ය යාවත්කාලීන වූ සංකල්පයන් ඔස්සෙ 2030 දක්වා සැලසුම් සකස් කරමින් සිටී. එම සැලසුම් ඉතා ආකර්ෂණීය ලෙස ජනතාවට ඉදිරිපත් කරමින් සිටී. 2020 ආණ්ඩුවක් ලබා ගැනීමෙන් පසු වහා ක්‍රියාත්මක විය හැකි යාන්ත්‍රණයක් ඉතා කදිමට, නූලට, තිතට ගොඩ නගමින් සිටී. ක්ශේෂ්ත්‍ර හතක් ඔස්සේ රට ගොඩ නගන සැලසුම් ප්‍රභලව ක්‍රියාත්මක කරමින් සිටී.

බැසිල් තනි දේශපාලන කඳවුරක් නිර්මාණය කරමින් සිටී. ආඬි හත් දෙනාගේ කැඳහැලියක් නොවන, පිරිසිදු පුළුල් දේශපාලන සංධානයක් පිහිටවීමේ කාර්‍යය ඉතා නුලට තිතට ඉදි කරමින් සිටී. 2020 බලය ලබා ගැනීමට අළුත් බලවේගයකුත් එම බලය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක කරන්න වැඩසටහනකුත් තව මාස කිහිපයකින් රාජපක්ෂවරු සතු වෙනු ඇත.

වැඩිමල් සහෝදරයා ලෙස චමල් ඉතා ප්‍රභල තැනක නැවතී සිටී. රටක් එක් අරමුණකට රැස් කරන කෝච්චියට තල්ලු කර දමන්නට වුවද සුදුසු තැනක ඔහු නැවතී සිටී.

අතිගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් මේ සියල්ල නිසි විදිහට කළමණාකරණය කරමින් ‍යන අයුරු ඉතාම සූක්ෂමය.

දේශපාලනය කියවන මිනිසෙකුට මේවා ජීවිතේට අමතක නොවන අපූරු දේශපාලන පාඩම්‍ ය. දැන් අවශ්‍ය වන්නේ හරිම වෙලාවේදී මේ සොහොයුරන් හතර දෙනා නිසි අයුරින් එක්වීමය. ඒ බලවේගය නවතන්නට හැකි අයුරක් මටනම් පෙනෙන්නේ නැත. අවශ්‍ය වන්නේ වඩාත් ගැලපෙනම ඉත්තා වඩාත් ගැලපෙනම අවස්ථාවේදී, වඩාත් ගැලපෙනම කොටුවේ ස්ථාන ගත කිරීමය.

ගෝඨා බැසිල් යුද්ධෙ මේ අයුරුනම්, ඒ වෙඩිල්ලෙන් සිගරට්ටුවක් පත්තු කරගන්නට සිතා බෙරිහන් දුන් සැවොම වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වමු.

සටහන,
අභීත එදිරිසිංහ.