“තෙල් මිල වැඩි කරපු එක හොදයි, පරිසර දූෂණය අඩු වෙනවා” – එජාපයේ ඇමති ඉන්ධන මිල ගැන අපූරූ කතාවක් කියයි..

ඉන්ධන මිල ඉහලයෑම පිළිබදව පක්ෂ විපක්ෂ දේශපාලකයන් විවිධ ප්‍රකාශයන් සිදු කරමින් සිටිනවා. මේ අතර එජාපයේ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ සිදු කළ ප්‍රකාශයන් කතාබහට ලක්ව තිබෙනවා.

ඉන්ධන මිල ඉහලයෑම පිළිබදව මාධ්‍යයට අදහස් දක්වමින් ගීතා කුමාරසිංහ හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රීවරිය ප්‍රකාශ කර තිබුනේ

“මිනිසුන්ට එපා වෙලා තියෙන මේ යහපාලන ආණ්‌ඩුව තව කාලයක්‌ තිබුණොත් මේ අහිංසක ජනතාවගේ ආයුෂ ඉක්‌මණින්ම ඉවර වෙනවා. අල්ලස, දූෂණය, හොරකම, රජකරමින් තිබෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටයි. යූ. එන්. පී. යටයි එරෙහිව රටේ ජනතාව ළඟදීම පාඩමක්‌ උගන්වනවා ෂුවර්, දැන් ගෑස්‌ මිල මේ ආණ්‌ඩුව ඉහළ දැම්මා. කිරිපිටි මිල වැඩිකළා. මේ රජයට රටේ ජනතාව ගැන කැක්‌කුමක්‌ නැහැ. ජනතාවට මොන වගේ සේවයක්‌ ද කරන්න ඕන කියලා ඒ අයට හැඟීමක්‌ නැහැ” යනුවෙනි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ඉන්ධන මිල ඉහල යාම පිළිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ ඛණිජ තෙල් ඇතුළු පොසිල ඉන්ධන භාවිතය වැඩිවීමෙන් වැඩි වශයෙන් පරිසර දූෂණයක්වන නිසා පොසිල ඉන්ධන මිල ඉහළ දැමීම යහපත් බවයි.

මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ, රජයේ අරමුණ සූර්ය බලශක්තිය සහ සුළං මගින් බලශක්තිය නිපදවීම වර්ධනය කිරීම බවයි. එබැවින් ඉන්ධන මිල ඉහළ යාමෙන් පරිසර දූෂණය අඩුකරගත හැකි බවත්, ඉන් විකල්ප බලශක්ති කෙරෙහි යොමුවන පිරිස වැඩිවන බවත් ඔහු පවසා තිබුනා.