මාස හතරක් පෙම් කරපු තරුණයා විශ්වාස කරලා වැඩ වරද්දා ගත් තරුණියගේ කතාව මෙන්න

වර්තමානයේ නොසැලිකිලිමත්කම සහ දුර දිග නොසිතා කටයුතු කිරීම නිසා විවිධ කරදර උවදුරු වලට ලක්වන තරුණියන් පිළිබද පුවත් සුලබයි. එවැනි තවත් පුවතක් වාර්තා වෙන්නේ බළන්ගොඩ ප්‍රදේශයෙන්.

බළන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක් නගරයේ තරුණයකු සමඟ මාස 04ක් පමණ ඇසුරක් පවත්වා විවාහ ගිවිස ගැනීමට ගොස් සිදුවූ අකරතැබ්බයක් පොලිසිය දක්වා දුර දිග ගිය පුවතක් පසුගියදා වාර්තා විය. බළන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා වී තිබූ තොරතුරු අනුව සිද්ධිය මෙසේය.

මේ තරුණිය පසුගිය දිනක රැකියාවට යන මුවාවෙන් ගෙදරින් පිටව ගොස් පෙම්වතාගේ නිවෙසේ නතර වී ඇත. මවුපියන් තම දියණිය සොයායෑමේදී තරුණයාගේ නිවෙසේ සිටින බව සැලවී දෙදෙනාම තම නිවෙසට කැඳවාගෙන ගොස් පසුදින බළන්ගොඩ නගරයේ විවාහ රෙජිස්ට්‍රාර්වරිය හමුවට මොවුන් දෙදෙනාව කැඳවාගෙන ගොස් ඇත.

තමන් දෙදෙනාට එක්වීමට අවශ්‍ය බව තරයේ මවුපියන්ට ප්‍රකාශ කර සිටි නිසා මෙසේ ඔවුන් දෙදෙනා නීත්‍යනුකූලව විවාහ කරදීමට තීරණය කර තිබේ. කෙසේ හෝ මේ තරුණයා කලින් විවාහයක් කරගත් බව අනාවරණය වීම නිසා සියල්ලෝම පොලිසියට පැමිණියහ. එහිදී වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වූයේ තරුණයා මීට පෙර කාන්තාවන් දෙදෙනකු සමඟ විවාහ ගිවිස ගෙන ඇති බවයි. ඉන් එක් කාන්තාවක් රට රැකියාවකට ගොස් ඇති අතර අනෙක් කාන්තාව සිය දරුවාද සමඟ සැමියාගෙන් වෙන්වී ගොස් මාස ගණනාවක් ගතවන බව අනාවරණය වී ඇත.

අවුරුදු 20ක පමණ වයසැති තරුණිය සුන් වූ බලාපොරොත්තු ඇතිව පොලිසියෙන් පිටව ගියේ සිය මවුපියන් සමඟය. හරිහැටි සොයාබැලීමක් නොකර තරුණයන් සමඟ ඇසුරට වැටෙන තරුණියන්ට මෙය කදිම පාඩමක් බව කාන්තා පොලිස් පරීක්ෂිකා පාලිකා රාජපක්ෂ සිදුවීම පිළිබදව මාධ්‍යයට ප්‍රකාශ කරනවා. තරුණියගේ මවුපියන් වහා ක්‍රියාත්මක වීම නිසා මේ උගුලෙන් තරුණිය බේරුණු බවද පොලිස් නිලධාරිනිය වැඩි දුරටත් ප්‍රකාශ කලාය.