අවුරුදු පහක සිසුවෙකුගේ නුවණින් දිවයිනේ ප්‍රසිද්ධ මංකොල්ල කරුවෙකු කොටුකරගත් හැටි මෙන්න..

පාදුක්ක බෝපේ වේවැල්කැටිය ප්‍රදේශයේ නිවසක් කොල්ල කා පළා යෑමට තැත්කල අපරාධකරුවෙකු නිවසේ සිටි පස් හැවිරිදි දරුවාගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

එම ප්‍රදේශයේ පදිංචි දරු දෙදෙනෙකුගේ මවක් තම පස්හැවිරිදි දරුවා පාසලෙන් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී සොරෙකු විසින් වහලයෙන් ඔවුන්ගේ නිවසට ඇතුලු වී නිවසේ සැඟව සිට තිබෙනවා. පසුව දරුවා සමඟ නිවසට ආ ඇය නිවසේ පිටුපස දොරෙන් ඇතුලු වනවාත් සමඟම නිවසේ සැඟව සිටි පුද්ගලයා කාන්තාව බිම ඇද දමා නිවස තුලට ඇදගෙන ගොස් තිබෙනවා.

මෙම සිදුවීම නිවසෙන් පිටත සිට ජනේලයෙන් දුටු තම පස් හැවිරිදි දරුවා නිවස තුලට නොපැමිණ එම අවස්ථාවේදී අසල තිබූ මළ ගෙදරකට දිව ගොස් එහි සිටි පිරිසට කෑ ගසමින් තමන් දුටු දේ ප්‍රකාශ කර තිබෙනවා. අනතරුව මළගෙදර සිටි පිරිස අදාල නිවසට පැමිණෙන අවස්ථාවේදී එම පුද්ගලයා පැන යන්නට උත්සාහ කලද ඔහු අල්ලා පොලීසියට බාර දෙන්නට ගම්වැසියන් සමත් වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් පාදුක්ක පොලීසිය කල වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු දකුණු කලුතර බෝඹුවල ප්‍රදේශයේ පදිංචි දිවයිනේ ප්‍රසිද්ධ කොල්ලකරුවෙකු බව හඳුනාගෙන තිබෙනවා. එසේම නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්තාවේදී රන් ආලේපිත කර පළඳනා සහ අත් පළඳනා සොරා ගෙන ඇති බවද ඔහු පාපෝච්චාරණයක කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සිද්ධිය සිදු වූ අවස්ථාවේදී දරුවා නිවස තුලට ගියේනම් විශාල අපරාධයක් සිදුවීමට හැකියාව තිබූ බවත්, එම අවස්ථාවේදී දරුවාගේ ක්‍රියා කලාපය නිසා ප්‍රසිද්ධ මංකොල්ලකරුවෙකු අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබීමත් බොහෝ දෙනාගේ ප්‍රසංශාවට ලක්වූ කරුණක්.