මුරලිගේ පිල මහේලගේ පිලට ඇට්ටි හැලෙන්න ගහලා.. මෙන්න විස්තරේ…

අයි.පී.එල් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර මුම්බායිහිදී ඊයේ (24) පැවැති තරගය ලකුණු 31 කින් ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 119 ක පහසු ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඕවර 18.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 87 ක් පමණි.එය මුම්බායි කණ්ඩායමක් අයි.පී.එල් ඉතිහාසයේ ලැබු අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්විය.

සූර්යකුමාර් යාදව් ලකුණු 34 ක් සහ කෘනාල් පාණ්ඩ්‍යා ලකුණු 24 ක් රැසකළ අතර අනෙක් පිතිකරුවන්ට ලකුණු 10 සීමාව හෝ පසුකිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

ලකුණු 21 කට කඩුලු 3 ක් දැවී ගිය පසු සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 40 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සූර්යකුමාර් යාදව් සහ කෲනාල් පාණ්ඩ්‍යා සමත්වූ අතර අවසන් කඩුලු 7 ලකුණු 26 ක් තුළ දැවීයාම කැපී පෙණුනි.

සිද්ධාර්ත් කෞල් ලකුණු 23 කට කඩුලු 3 ක් ද රෂීඞ් ඛාන් ලකුණු 11 කට කඩුලු 2 ක් සහ බැසිත් තම්පි ලකුණු 4 කට කඩුලු 2 ක් දවාගනිමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රණය කරා රැගෙන යාමට සමත්වූහ.

තරඟයේදී හයිද්‍රාබාද් දඟ පන්දු යවන්නෝ විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අතර ඔවුන්ගේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු වන්නේ මුත්තයියා මුරලිදරන්.
පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද්ට ඕවර 18.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 118 ක් පමණි.

ලකුණු 29 බැගින් රැස්කළ කේන් විලියම්සන් සහ යූසූෆ් පතාන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන්වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ. මයාන්ක් මාර්කන්ඬේ, හාර්දික් පාණ්ඩ්‍යා සහ මිචෙල් මැක්ලෙනගන් කඩුලු 2 බැගින් දවාග්ත්තා.