“ටෙලිනාට්‍ය රඟපෑම නෙමෙයි ඊට පස්සේ මට වුණේ එක එක මිනිස්සු සතුටු කරන්න..” තවත් එක් සංවේදී කතාවක් මෙන්න..

සුරංගනී. තරුණ වියේදී බොහෝ හැඩට සිටින්නට ඇත. ඒ හිතුවක්කාර කමම ඇයව විනාශය කරා ගෙන ආවාය. එමෙන්ම ඇගේ සිහිනය ඇයට උරුමකළේ වැදගැම්මකට නැති ජීවිතයකි. නමුදු ඇය තවමත් ජීවත් වන්නීය. “තරුණ කෙල්ලන්ට කියන්න මේ ගඳගහන සමාජයෙන් පරිස්සම් වෙන්න කියලා.” ඇය ඒ ඉල්ලීම කරන්නේ තමන්ට අත් වූ ඉරණම තවත් කෙනෙකුට අත්නොවේවා යන සද්භාවයෙනි.

“මං හිතලා වැරදි කළේ නැහැ. එත් මගේ ජීවිතය අපායකට ඇදලා දැම්මේ මගෙ වටේම හිටපු අය. අද මට හිරගෙදර ඉස්සරහ මේ විදිහට බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ ඒ නිසයි. දුක කියන්න කෙනෙක් නැහැ. කාවවත් විශ්වාස කරන්නත් බැහැ. මේ ජීවිතයෙන් මිදෙන්න ක්‍රමයකුත් නැහැ. අපි මහ පවුකාර ගැහැනු”

ඇය එසේ කියන්නේ මන්දැයි මම විමසුවෙමි.

“මං නම් දකින්නේ ගැහැනු කියන්නේ හැමදාම දුක් විදින අය හැටියට.” ඇය කතාවට මුල පුරන්නට වුවාය.

“ඉස්කෝලේ යන කාලේ මට හීනයක් තිබුණා. ඒ තමයි නිළියක් වීම. අපේ තාත්තා හොඳට පොත්පත් කියවපු කෙනෙක්. අම්මා චිත්‍රපටි වලට පිස්සු වැටිලා හිටපු කෙනෙක්. ඒ නිසා ඒකාලේ චිත්‍රපටි හෝල්වලට ආව හැම චිත්‍රපටයක්ම අම්මයි තාත්තායි බලන්න යනවා. අපිත් එක්ක ගෙන යනවා.”

“මට යන්තටම වගේ මතකයි රුක්මනි දේවි මැරණ වෙලාවේ අපේ අම්මා අඬනවා. විජය කුමරතුංග මැරුණ වෙලාවෙත් අපේ පැත්තේ හැමෝම ඇඬුවා.
ලොකු අක්කාත් පත්තර එකතු කරනවා. මම නළු නිළියන්ගේ පින්තුර එකතු කළා. එතකොට මට අවුරුදු දාසයක් විතර ඇති. උඹ නළු නිළියන්ගේ පිංතූර එකතු කළාට කමක් නැහැ ඉගෙන ගන්න ඕනෑ.”

“තාත්තා හැමවෙලේම මට එහෙම කිව්වා. කුලී වැඩ කරපු අපේ තාත්තා හරිම සුන්දර මනුස්සයෙක්. නමුත් එයා ගහකින් වැටිලා හදිස්සියේම මැරුණා.
ඊට පස්සේ අපේ අම්මා අක්කගෙයි මගෙයි ජීවිත වලට පණ දෙන්න ගත්තා. අම්මා පොළේ කීර විකුණන්න ගත්තා. ඒ රස්සාවෙන් මහා ලොකු ආදායමක් ලැබුණේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගය ලියලා ඉවර වුණාට පස්සේ ලොකු අක්කා රස්සාවකට ගියා. අක්කා රස්සාවකට ගියේ අම්මා දුක් විඳිනවා බලාගෙන ඉන්න බැරුව.”

“පොඩිඩ්යේ උඹ ඉගෙන ගනිං මං උඹ ගැන බලාගන්නම්.”

“අක්කා එහෙම කිව්වට සාමාන්‍යපෙළ විභාගය ලිව්වට පස්සේ මටත් හිතුනෙම රස්සාවකට යන්න. ඊටත් වඩා මට ඕන වුණේ මගේ හීනය හැබෑ කරගන්න.
අක්කා මට පත්තර ගෙනැල්ලා දුන්නා මං ඒවායේ ටෙලිනාට්‍ය නිළියෝ චිත්‍රපට නිළියෝ ගැන තිබුණ ලිපි කියෙව්වා. පින්තුර එකතු කළා. දවසක් පත්තරයක තිබුණ අලුත් ටෙලිනාට්‍යයකට නිළියෝ ගන්නවා කියලා දැන්වීමක්. ඒකට ඡායාරූපයකුත් එවන්න කියලා තිබුණා. මං ඒ දැන්වීම දැක්කම ලොකු හීන ගොඩක් දැක්කා. මම ඉල්ලමි පත්‍රයක් දැම්මා. මගේ පින්තුර දෙකතුත් දැම්මා. මාසයකට විතර පස්සේ මට ලියුමක් ලැබුණා. සම්මුඛ පරීක්ෂණ සඳහා එන්න කියලා. එදා මම පුදුම සතුටකින් හිටියේ. අම්මයි මමයි අක්කයි තුන්දෙනාම කොළඹ ආවා. අපිට හමුවුණ මහත්තයා බොහෝම හොඳ කෙනෙක්. ඒ එදා අපි එයා ගැන හිතපු විදිහ.”

එදා මොකද වුණේ? මම ඇගෙන් ඇසුවෙමි.

“ඇත්තම කිව්වොත් එදා මුකුත් වුණේ නැහැ. එයා මගේ ඡායාරූප කිහිපයක්ම ගත්තා. ඊට පස්සේ අපිත් එක්ක කතා කළා. එදා සම්මුඛ පරීක්ෂණයට තව අය ඇවිත් හිටියා.” “අපි දන්වලා එවන්නම්” නෝනා කෙනෙක් අපිට කිව්වා. ඒත් අපිත් එක්ක කතා කරපු මහත්තයා අම්මගෙ ළඟට ඇවිල්ලා කිව්වා අපි ඔයාගේ දුව තෝරාගත්තා කියලා. ඒ සුබදායක ආරංචියත් එක්ක අපි ගෙදර ආවා.

අක්කටයි අම්මටයි සතුටුයි වගේම හරි දුකයි. මම කොළඹ නතර වෙන්න යනවට. අක්කගෙ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් ඊළඟ ලියුම ආවහාම මං කොළඹ ආවා. එදා අම්මා විතරයි ආවේ.

අනේ දුවේ පරිස්සමෙන් ඉන්න ඕන. අම්මා මඟ දිගටම කිව්වේ ඒ වචන ටික විතරයි.

අපි කොළඹ ඇවිල්ලා අර මහත්තයව හමුවුණා. එදා හිටපු නෝනත් එතැන හිටියා. අපිට ඒ අය ගැන කිසිම සැකයක් ඇති වුණේ නැහැ.
නෝනයි මහත්තයයි අම්මවයි මාවයි එකක්ගෙන ගියා ලොකු ගෙදරකට. ඒ ගෙදර තව ගෑනු ළමයි දෙන්නෙක් හිටියා. අම්මා බයවෙන්න එපා. මෙතැන තමයි ඔයාගේ දුවගෙ නවාතැන.

මෙතන තව ගෑනු ළමයි ඉන්නවා. අපි මේ දවස්වල අලුත් නාට්‍යයක පුහුණු වීම් කරනවා දුවව තෝරගෙන තියෙන්නේ ඒකේ ප්‍රධාන චරිතයට.”
ඒ නෝනා කියන්න ගත්තා. ඊට පස්සේ මහත්තයා ඇඩ්වාන්ස් එකක් කියලා මගෙ අතට රුපියල් පන්දාහක් දුන්නා.

මං ඒ සල්ලි ඔක්කෝම අම්මගෙ අතට දුන්නා. අම්මා මගෙන් වෙන්වෙලා ගියේ අඬ අඬා. අපේ අම්මට කොළඹ පාරවල් හුරු නැහැ.

මහත්තයා අම්මව කොටුවේ බස්ස්ටෑන්ඩ් එකට එක්කගෙන ගියා. මට ඒ ගෙදර වෙනම කාමරයක් ලැබුණා. මං හිතුවා මට ලස්සන ජීවිතයක් ලැබුණා කියලා.”

රඟපාන්න ගියේ නැද්ද?
“ටෙලි නාට්‍යයක චරිතයකට අපි පුහුණු වුණා. දවසක් මාව එතැන ගෑනු ළමයෙක් සැලුන් එකකට එක්කගෙන ගියා.

ඒත් අපිට එක එක්කෙනා එක්ක කතාකරන්න තහනම් වෙලා තිබුණේ. සැලුන් එකේ හිටපු කොල්ලා මගෙන් ඇහුවා අලුතෙන් ද කියලා. මට මුකුත්ම හිතාගන්න බැරි වුණා. මාස දෙකක් විතර ගෙවිලා ගියා. මට පඩියක් ලැබුණා. ඒත් ගෙදර යන්න ලැබුණේ නැහැ. අම්මට අක්කට මං ලිව්වා. ඒ ගොල්ලන්ට මා ගැන බයවෙන්න එපා කියලා කිව්වා.

ඔය අතර තමයි දවසක් මට ජීවිතේම නැති වුණේ. දවසක් මහත්තයා මාව එළියට එක්කගෙන ගියා. එදා මට හිතාගන්න බැරි වුණා මොකද වුණේ කියලා.
මහත්තයා මාව හෝටලයකට එක්කගෙන ගියා. ඊට පස්සේ ටිකක් රෑ වෙනකොට මට ඉන්න කියලා එයා එළියට ගියා. ටිකකින් මට වේටර් කෙනෙක් ඇවිල්ලා බොන්න බීම එකක් ගෙනැත් දුන්නා. මං ඇහැරුණේ උදේ.

ඒ වෙලාවේ මගේ ඇගේ නුල් පොටක්වත් තිබුණේ නැහැ. මං කෑගහලා ඇඩුවා. නෝනයි මහත්තයි දෙන්නම කාමරේ. මං පොලිසි යනවා කියලා කෑගැහුවා. එතකොට තමයි නෝනා මට කිව්වේ උඹ පොලිසි යන්න කලින් මේක බලපන් කියලා. මට පෙන්නුවේ විඩියෝ එකක්.
ඒකේ තිබුණේ මගේ නිරූවත් පින්තූර කවුද මිනිහෙක් මාව දුෂණය කරන දර්ශන ඒක දැකලා මට පිස්සු හැදුණා.

උඹ මේක ගැන කාට හරි කිව්වොත් උඹේ ගෙදරට, ගමට මේවා පෙන්වනවා කියලා නෝනා මට තර්ජනය කළා.” මම ඇත්තටම නිහඬ වුණා. ඉන් පස්සේ මගේ ජීවිතේ හුඟාක් වෙනස් වුණා. ටෙලිනාට්‍ය රඟපෑම නෙමෙයි ඊට පස්සේ මට වුණේ එක එක මිනිස්සු සතුටු කරන්න. ඒක මහා ජරා ජීවිතයක්. නමුත් මම ඉන්නේ සුපිරි ගණිකා මඩමක කියලා මං දැන ගත්තේ පළවෙනිවතාවට පොලිසියට අහුවුණ දවසේ. එදා ඇප ලැබුණා. ඉන් පස්සේ මං කීප පාරක් හිරේ ගියාද? මටවත් මතක නැහැ.”

ගෙදර අය දන්නේ නැද්ද?
“කොහොමද කටක් ඇරලා කියන්නේ. මං අම්මාට කිව්වා ටික දවසකට රට යනවා කියලා. අම්මයි අක්කයි දෙන්නම ඒ කතාව විශ්වාස කළා.
කාලය ගෙවිලා ගියා. අම්මා නැතිවුණා. අක්කා විවාහ වුණා. මම මැරී මැරී ජීවත් වුණා.
ආදරෙයි කියලා ළඟට ආව හුඟාක් අයට මං විතරක් නෙමෙයි නෝනා ගාව හිටිය හැම කෙල්ලම රැවටුණා.
දැන් මගෙ වයස අවුරුදු හතළිස් පහයි. දැන්නම් ඉතිං අපි වයසට ගිහිල්ලා. එත් රූපය රැක ගන්න හුඟාක් දේ කරනවා. නෝනා දැන් වයසයි. එයාගෙ පෙනුමනම් අවුරුදු පනහක්වත් නැහැ වගේ.”

අද හිරගෙදර ආවේ?
“අපේ කෙල්ලෝ දෙන්නෙක්ව පොලිසියෙන් ඇල්ලුවා. ඒ දෙන්නා දැන් මාස ගානක් තිස්සේ හිරේ. අලුත් කෙල්ලෝ මං ආවේ බලලා යන්න. මේ කෙල්ලෝ ගැන දුකයි. ඒත් ඒ අය ගැන අපිට තීරණයක් ගන්න බැහැනේ.”

අක්කා බලන්න ගියේ නැද්ද?
“ඉස්සර ගියා. දැන් යන්නේ නැහැ. අක්කා මං ගෙවන ජීවිතය ගැන දන්නවා. අක්කා මාව අත්ඇරලා තියෙන්නේ.
එයාට ලස්සන ජීවිතයක් තියෙනවා. මට තියෙන්නේ කුණු වෙච්ච ජීවිතයක්. ඒ කුණුගොඩේම ඉන්නවා ඇරෙන්න දැන් මට වෙන කරන්න දෙයක් නැහැ.”
සුරංගනී පවසන්නට වුයේ සුසුමක් හෙළමිනි.