ලංකාවේ ෆේස්බුක් තහනම ඉවත් කරන්න ඇමති හරීන්ගෙන් මාර්ක් සකර්බර්ග්ට කොන්දේසී රැසක්..!

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් තහනම ඉවත් කිරීමට නම් ශ්‍රී ලංකා රජය ලබා දෙන කොන්දේසී වලට ෆේස්බුක් ආයතනය එකග විය යුතු බවට විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා. ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය විසින් ලබාදෙන කොන්දේසි සියල්ල ඉටුකිරිමට ෆේස්බුක් ආයතනය කටයුතු කළ යුතු බවටයි ඇමතිවරයා වැඩි දුරටත් පවසන්නේ.

එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,

“මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ෆේස් බුක් ආයතනය නිර්දේශය දෙනකං තමයි අපි බලන් ඉන්නේ. ජාතිවාදය ඇතුලූ කරුණු සම්බන්ධයෙන් වෙනස්කම් කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණට එම ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන තිබුනේ නැහැ.

මෙම ගැටලූවේදී මේක තමයි අපිට තිබුන ලොකුම බාධකය. නමුත් මේ අය දිගින් දිගටම මේ ගැන කිසිදු දෙයක් කරලා තිබුනේ නැහැ. ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා.

එදා දවසේ අපි මේ තීන්දුව ගත්තේ නැත්නම් මේ ප‍්‍රශ්ණය විසදන්න ලැබෙන්නේ නැහැ. ෆේස්බුක් ආයතනය අපිට කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් කථා කරනවා කියලා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ තීන්දුව ලබාදෙනකන් අපි බලාගෙන ඉන්නේ.

ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි. ඒ වගේම සිංහල කියවන්න පුලූවන් වැඩි දායකත්වයක් ගන්න අය ෆේස්බුක් එකට ඇතුළත් කරගන්නවනම් අපි මේ තහනම ඉවත් කරගන්නවා කියන එක තමයි අපේ ස්ථාවරය’’ ලෙසය.