පෙබරවාරි 10 ජයග්‍රහණය, අම්පාරේ වඳ පෙත්ත, තෙල් දෙනියේ මිනීමරා ගැනීම සහ රටේ අනාගත පරපුර නන්නත්තාර වීම..

එකම මාතෘකාව තුල උප මාතෘකා හතරකි. දේශපාලනිකව මේ සියල්ල පිළිබඳව කතා කරනවා නම් පිටු ගණන් ලිවිය හැක. නමුත් ඔබේ කියවීම පහසු වීම වස් මේ උප මාතෘකා හතර එකිනෙක දේශපාලනිකව සම්භන්ධ කිරීමට කැමැත්තෙමි.

පෙබරවාරි 10 දින, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීම යනු ශ්‍රී ලාංකික ජාතිකවාදයේ උපරිමය ලෙස මා සටහන් කලේ, මේ පිටුව වෙනුවෙන්ම මා ලියූ කලින් ලිපියෙනි. සංහිඳියාව නාමයෙන් ජාතීන් වෙත කෙරෙන අසාධාරණකම්, යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාව හරහා රට කැබලි කිරීම් වලට එරෙහිව, “එකම ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් “ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී නොවන”, “සැබෑ රට වෙනුවෙන් ආදරය කරන”, ජාතිකවාදීන් විසින් මේ විදේශ ගැති ආණ්ඩුවට එල්ල කල මරු පහර, පෙබරවාරි 10 ජනතා තීරණය බව මම එම ලිපියේ සඳහන් කලෙමි.

2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂගේ පරාජයට බලපෑ ප්‍රධාන හේතුවත් මේ සැබෑ ජාතිකවාදීන් දෙකට බෙදීම ලෙස මම කලින් සඳහන් කල බැව් ඔබට මතක ඇති. පාඨලී රණවක, අතුරලියේ රතන හිමි වැන්නවුන් ජාතිකවාදීන් විශාල ප්‍රමාණයක් මහින්දගෙන් ගලවා දැමීමත්, ඥාණසාර හිමි විසින් බොරු ගෝඨා හිතවත්කමක් පෙන්වා ඉතිරි ජාතිකවාදීන්ගෙන් පිරිසක් රාජපක්ෂ නාමය කලකිරවා ගෙදර තැබීමත් නිසා, ජනවාරි 8 පරාජය මහින්දට උරුම වූ බව මම එම ලිපිවල පෙන්වා දුන්නෙමි.

එසේනම් තමන්ගේ ජාමය තව දුරටත් රැක ගැනීමට, මේ කාළකණ්ණි රජයට අද කල යුතුව තිබෙන්නේ කුමක්ද?

ඉතා පැහැදිලි පිළිතුර නම්, නැවතත් මේ රටේ ජාතික ප්‍රශ්ණයක් ඇති කර ජන ජීවිතය තුලට භීෂණය, අසමානකම් බලෙන් ඇතුල් කර, ආණ්ඩුවේ නොහැකියාව ගැන තිබෙන කතිකාවත මතුවෙන්නට ඉඩ නොදී, ඊටත් එහා ගිය කතිකාවත් කිහිපයක් මහජන මනස තුලට උපක්‍රමශීලීව බලෙන් රිංගවා දැමීමයි. මේ වනවිට ශ්‍රී ලාංකික සිංහල මිනිසා සහ ශ්‍රී ලාංකික මුස්ලිම් මිනිසා ඉතා දරුණු අයුරින් ඊට ගොදුරු වන ලකුණු පෙන්නුම් කරමින් තිබේ.

අම්පාරේ පිටි ගුලියක් වඳ පෙත්තක් කරන්න ගිය වෑයම නිශ්ප්‍රභ විය. එය පත්තු නොවීම නිවී ගියේය. සයිබර් අවකාශය තුල ඇති වුන සංවාදාත්මක කතිකාවත්, සාමය උදෙසා දිශාගත වීම එම වඳ පෙත්ත පිලිබඳ බොරුව ඉක්මණින් හෙළි වී, ගින්න නිවී ගියේය.

අද තෙල්දෙණිය ගිනියම් වී තිබේ. පියවරින් පියවර සලකමු.

වෑන් රථ රියදුරෙක් හා බීමත් ත්‍රිරෝද රථ පිරිසක් අතර රිය අනතුරකි. බීමත් බේබද්දන් වෑන් රථ රියදුරා පන්නා ගොස් පහර දේ. තත්ත්වය ආරංචි වූ තුප්පහි කුමන්ත්‍රණ කාරීන්ට මෙය සිංහල මුස්ලිම් ආරාවුලක් කරන්නට ගියේ ඉතා සුළු මොහොතකි. මිනී මැරුමක් ජාතික ප්‍රශ්ණයක් බවට පෙරළුණි. මුස්ලිම් කඩවල් ගිණි ඇවිලිණි. තවත් ශ්‍රී ලාංකිකයෙකුට මරණය උරුම විණ. මේ ලියන අමු දහවලේත් ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය දමා තිබේ. නැගෙනහිරින් පැමිණි මුස්ලිම් අන්තවාදීන්ටත්, බස්නාහිරින් පැමිණි බෞද්ධ අන්තවාදීනුත් තෙල්දෙනිය අවට කඩවලට, ජීවිත වලට වග කියනු ලැබිණ.

දැන් ඉතින් මොකක්ද මේ කරන්නේ… කපුගේ ගැයූ උතුරු කොණේ සෙල්ලම්මාලාත්, සමන් ගැයූ පර්දාවෙන් හදට වඩින තාරකාවියත්, ජිප්සීස් ගැයූ “This Land Belongs to You – This land Belongs to Me” කියන සංකල්පයෙන් මිදී ගහ මරා ගැනීම ඇරඹීමය. කුරිරු තිස් වසරක යුද්ධයක් අවසන් කරමින් ලැබූ දස වසරකට ආසන්න සාමයට සමුදීමට අවස්ථාව පෙනි පෙනී ඇත.

සොඳුරු ශ්‍රී ලාංකිකත්වයෙන් මිදී, සිංහලකම, මුස්ලිම් කම වෙනුවෙන් මිනී මරාගෙන සිංහල, මුස්ලිම්, දෙමළ යන සියළු ශ්‍රී ලාංකික අනාගත පරපුරේ ආත්මාභිමානය විනාශ කර දමමුද?

ලේ වඩවන්න එපා.. එය කාගෙන් හෝ ඉල්ලා ගත හැකියි. මොලේ වඩවන්න ශ්‍රී ලාංකිකයිනි, මක් නිසාද, එය වෙන අයෙකුගෙන් ලබාගත නොහැකියි.

– අභීත එදිරිසිංහ