අපේ ධීවරයන් අල්ලන මසුන්ගෙන් බාගෙට බාගයක් කෑමට සුදුසු නෑ..! නාරා පරීක්‌ෂණ වලින් හෙළිවූ දේ මෙන්න..

ශ්‍රී ලාංකික ධීවරයන් විසින් අල්ලා ගනු ලබන මසුන්ගෙන් සියයට 40 ත් 60 ත් අතර ප්‍රමාණයක්‌ පරිභෝජනයට නුසුදුසු මට්‌ටමේ පවතින බව නාරා ආයතනය මගින් සිදු කළ පර්යේෂණ අනුව හෙළිවී ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම මත්ස්‍යයන් කරවල සඳහාවත් සුදුසු නොවන බවත් කිසිදු ප්‍රයෝජනයක්‌ නොගෙන විනාශ කෙරෙන බවත් ප්‍රකාශ කර සිටියි.

මේ නිසා පශ්චාත් මත්ස්‍ය ප්‍රමිති හානිය අවම කර ගැනීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ වනවිට වැඩපිළිවෙළක්‌ ආරම්භ කර තිබේ. ඒ අනුව ධීවර කාර්මිකයන්ගේ දැනුම වර්ධනය, ධීවර යාත්‍රා නවීකරණය, නව තාක්‌ෂණයෙන් යුත් ධීවර යාත්‍රා හඳුන්වා දීම, ගුණාත්මක තත්ත්වයෙන් යුත් අයිස්‌ හා ජලය භාවිතය, මසුන් ඇල්ලීම සඳහා නව තාක්‌ෂණය හඳුන්වා දීම, මසුන් ගොඩබෑමේ ක්‍රියාවලිය විධිමත් කිරීම හා ධීවර වරායන්හි ශීතාගාර පහසුකම් නැංවීම් යනාදී පියවර රැසක්‌ ගෙන තිබේ.

ජාතික ආර්ථිකයේ වර්ධනය උදෙසා දළ ජාතික නිෂ්පාදිතයට ධීවර අංශයෙන් දැනට ලැබෙන්නේ සියයට 1.4 ක දායකත්වයකි. පශ්චාත් මත්ස්‍ය ප්‍රමිති හානිය වළක්‌වා ගන්නේ නම් එම මට්‌ටම සියයට 05 දක්‌වා නැංවීමට හැකි බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කෙසේ වුවද අප රටේ දළ ජාතික නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය දෙස බලන විට ධීවර අංශය දැනට සිටින්නේ 11 වන ස්‌ථානයේයි.