සංගා පිට පිට දෙවන වරටත් PSL දෙවනත් කරයි! (වීඩියෝ)

පාකිස්ථානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුල්තාන් සුල්තාන්ස් පිල වෙනුවෙන් පිට පිට දෙවන අර්ධ ශතකයකත් වාර්තාකිරීමට සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත්විය.

ඒ ලාහෝර් කලන්ඩාර්ස් පිල සමග ඊයේ පැවති තරඟයේදීය.

මෙම තරඟයේ පළමුවට පහරදුන් සංගාගේ පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 කට ලකුණු 179ක් රැස් කළේය.එහිදී සුපිරි පිතිකරණයක නියැලූ කුමාර් සංගක්කාර පන්දු 44කදී ලකුණු 63ක්ද, ෂොයිබ් මලික් පන්දු 24කින් ලකුණු 48ක්ද රැස් කළේය.

ලකුණු 180ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ලාහෝර් කණ්ඩායමේ සියලු කඩුලු පන්දුවාර 17 පන්දු 2කදී බිඳ වැටුණු අතර ඔවුන් රැස් කළේ ලකුණු 136ක් පමණි.

වරෙක ලකුණු 130කට කඩුලු 3ක් දැවී ප්‍රබල ස්ථානයක පසුවූ ලාහෝර් පිලේ ඉතිරි කඩුලු ලකුණු 6ක් තුළ බිඳ වැටුණු අතර මුල්තාන් සුල්තාන්ස් පිලේ ජුනයිඩ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත්විය.එය PSL තරඟ ඉතිහාසයේ වාර්තා වූ දෙවන කඩුලු ත්‍රිත්වය ලෙසද සටහන් විය.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.