පුලුවන් නම් එල්ල කරන චෝදනා ඔප්පු කර පෙන්වන්න. ගෝඨාගේ පැත්තෙන් අභියෝගයක්..!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය දින සිය ඇමෙරිකානු සංචාරය නවතා ශ්‍රී ලංකාවට පැමිණියා. ගොඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබදව විවිද රාවයන්ද පැතිර යන අතර පොදු දේපල පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ගෝඨාභය රාජපක්ෂ යොමු කර තිබෙන පෙත්සම විභාගයද පසුගිය දින සිදුවුණා.

මේ අතර මෙම පෙත්සම විභාගයේදී ඩී.ඒ. රාජපක්‍ෂ සිහිවටනය ඉදිකිරීමේ සිද්ධිය පාදක කරගෙන අභූත චෝදනා මත ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ගන්නා උත්සාහය අතහැර දමා හැකි නම් ඔහුට එරෙහිව නඩුවක් පවරන ලෙස ඔහු වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නීතිපතිවරයාට අභියෝග කිරීම විශේෂයකි.

මීට පෙර නඩු විභාගය පැවැත්වුණු ජනවාරි 25 වැනි දින කරුණු දැක්වීමේදීද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් මෙම කරුණු සඳහන් කරන ලද අතර ඊයේ (14) එය අභියෝගයක් ලෙස ඉදිරිපත් කරමින් කියා සිටියේ රාජ්‍ය දේපොළ (පොදු දේපොළ) පනත යටතේ ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව කරුණු විභාග කිරීමට නීතිපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ කුමන පදනමක් යටතේ ද යන්න ගැටලුවක් බවය.

ගුණානුස්මර්ණ පදනම හා පහත්බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය අතර එළැඹුණ ගිවිසුමක් මත එම ඉදිකිරීම් සිදුකොට අදාළ ගෙවීම් ද සිදුකළ බවට සියලු සාක්කි තිබියදීත් යහපාලන රජය බලයට පත් වීමෙන් පසු පාඨලී චම්පික ඇමැතිවරයා එම ලිපිගොනුව ගෙන්වාගෙන අලුත් ඇස්තමේන්තුවක් සාදවා හිඟ මුදලක් ඇති බවට පෙන්වා මෙම නඩුව පටලවා ඇති බව ද මෙය දේශපාලන පළිගැනීමක් සඳහාම සිදුකොට ඇති බව තහවුරු කිරීමට අවශ්‍ය තරම් සාක්කි පැමිණිලි තුළින් සොයාගත හැකි වූ බව ද කියා සිටියේය.

මෙම කරුණු තහවුරු කිරීමට ප්‍රබලතම සාක්කිය වන්නේ මෙම නඩුව පටලැවීම සඳහා ලබාගෙන ඇති පොලිස් අධිකාරිවරයාගේ සාක්කියේ රුපියල් මිලියන 64ක් ලෙස දක්වා ඇති එම මුදල පසුව රුපියල් මිලියන 85ක් ලෙස වෙනස් කර තිබීම ගැන ගරු විනිශ්චය මණ්ඩලයේ අවධානය යොමු කරවන බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේය.