ඔබේ කතිරය කුමක් සදහාද? චන්දය දෙන්න කලින් අනිවාර්යෙන්ම කියවන්න

මිත්‍රයා,මේ වෙනකොටත් ඔබ ඔබව දේශපාලනිකව හදුන්නවා ගන්නා විදියක් ඇති. ශ්‍රී ලංකා කාරයා, යු එන් පී එකේ, ජෙප්පෙක්, පාවෙන චන්දයක් එහෙමත් නැත්නම් මහින්ද මහත්තයගේ පොහොට්ටුවේ කියල. සමහර විට චන්දෙ දාන්නේ නෑ කියල (මට හමුවුන බොහොමයක් යු එන් පී අය වගේ) තීරණය කරලත් ඇති.

මේ චන්දෙ ඉතිහාසය විසින් අපට කියල දුන්න බොහොමයක් දේශපාලන පාඩම් උඩු යටිකුරු කළා. අලුත්ම දේශපාලන ලකුණක්, පොහොට්ටුව, ලංකාවේ ප්‍රධානම දේශපාලන බලවේගය බවට පත්වෙන අතරේ රටේ පොඩිම චන්දෙ ආණ්ඩුවක් පෙරලන තරමට හයිය තියෙන තීරණාත්මක මැතිවරණයක් බවට පත්වෙලා. ඉගෙනගත්ත, පොත පත කියවන තරුණ පරම්පරාව රටේ බලපුළුවන්කාරම දේශපාලන තීරකයා බවට පත්වෙලා.

මට නම් මේ චන්දය විශේෂ වන්නේ, මගේ ජිවිත කාලයේ ප්‍රථම වතාවට, මේ මැතිවරණය විසින් ‘චන්දය දෙන්නේ කාටද?’ කියන ප්‍රශ්නය වෙනුවට ‘චන්දය දෙන්නේ කුමක් සදහාද’ කියන ප්‍රශ්නය අප හමුවේ තබා ඇති නිසා. ගමේ චන්දෙ ඉල්ලන කළු අයියා, ලොකු නැන්දා, පහල වත්තේ මල්ලි, රස්සා දුන්න මන්ත්‍රී වෙනුවට මිනිස්සු ‘රට වෙනුවෙන්’ ඉදිරිපත් කරන දේශපාලන වැඩපිළවෙල මොකක්ද කියල අහන්න පටන් අරන්. ‘ගමට’ මොකද වෙන්නෙ වෙනුවට ‘රටට’ මොකක් වෙයිද කියල කතාකරන්න පටන් අරන්.

මිනිස්සු දේශපාලනිකව ඇස් ඇරගෙන ඉන්නෙ. රටේ දේපළ හිතුමතේ විකුණනවට, සාමය පාවා දෙනවට, ණය වෙනවට, හොරකම් කරනවට, හොරු රකිනවට, රට බෙදනවට, බොරු කියනවට, ඇමතිවරු සුර සැප විදිනවට, සුද්දෝ කියන හැම එකටම එහෙයි කියනවට, රණ විරුවන් පාවා දෙනවට, ජාතික ආර්ථිකය ඝාතනය කරනවට රටේම මිනිස්සු විරුද්ධ බවත් ඒ විරුද්ධවාදිත්වය මැතිවරණයේ තීරණාත්මකම සාධකය බවට පත්වෙලා තියෙන විත්තියත් පේනවා. චන්දෙකදී චන්ද දායකයෝ රට ගැන හිතන එක, දේශපාලකයන්ට බයානක වුනාට අපිට, රටට සහ අපේ දරුවන්ට හොදයි.

ඉතින් මිත්‍රයා, ඔබ ඔබව දේශපාලනේ මොන ගොඩට දාගෙන තිබ්බත්, මේ චන්දෙදි ඔබ ඔබව ‘රටේ’ ගොඩට දාගන්න. ඔබේ චන්දෙන් ‘රට’ ගොඩ දාන්න.

රටට ජය!

– මිලින්ද රාජපක්ෂ