නව ඉනිමකට සැරසෙන මාලිංග ඉන්දියාවට හැඟීම්බර කතාවක් කියයි!

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය විශ්‍රාම ගැනීම පිළිබඳ ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව පවසයි.ඉන්දියාවේ PTI පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“මානසිකව මම ක්‍රිකට් ක්‍රීඩා කර අවසන්. මම හිතන්නෑ මට නැවත ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරන්න හැකිවෙයි කියා .මම හැකි ඉක්මනින් සමුගැන්ම ප්‍රකාශයට පත්කරනවා.

මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග මේ ගැන සාකච්ඡා කළේ නෑ. නමුත් මම නැවතත් දේශීය ක්‍රිකට් පිටියට ගොස් මගේ ශරීරය කෙසේ ප්‍රතිචාර දක්වයි දැයි බලනවා. දැනටමත් මගේ අයි.පී.එල්. ක්‍රීඩා දිවිය අවසන්. මම නව පරිච්ඡේදයක් මුම්බායි ඉන්දියන්ස් සමග ආරම්භ කරනවා. මම නැවත ක්‍රීඩා නොකරාවි.”

මුම්බායි වෙන්කඩේ ක්‍රීඩාගණයේ සුවහසක් ප්‍රෙක්ෂකයන් මැද ක්‍රීඩා නොකර සිටීම අපහසු දෙයක් වුවත් සමුගැන්ටමට කාලය පැමිණි ඇති බව හදවතට දැනෙන බව මාලිංග මෙහිදී පැවසීය.

“හැමෝටම ඒ සංඥාව ලැබෙනවා. වසීම් වක්‍රම් වුණත් ඔහුට යන්න ඕන වෙලා දැනගෙන හිටියා..”

“මුම්බායි කණ්ඩායම මාව ක්‍රීඩකයෙකු ලෙස රඳවාගන්න තීරණය නොකිරිම ගැන මම පුදුම වෙන්නේ නෑ. මම අවුරුදු 10 ක කාලයක් ඉතා හොඳින් මුම්බායි කන්ඩායමට ක්‍රීඩා කළා වගේම බොහෝ දේවල් ලබාගත්තා. නමුත් මේ අවුරුද්දේ මුම්බායි පිලේ හිමිකරුවන් මා එක්ක සාකච්ඡා කළා. ඔවුන්ගේ අදහස ඉදිරි වසර තුන සඳහා හොඳ කණ්ඩායමක් හදාගන්න බව ඔවුන් මා සමග පැවසුවා. තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩාව මගෙන් ගිලිහිලා කියලා මටත් තෙරේනවා..”

මුම්බායි ඉන්දියන්ස් පිල ලබාදුන් නව තනතුර සමගින් ඉදිරියට යාමට බලාපොරාත්තුවෙන් සිටින බවත් ඔහු මෙහෙිදී පැවසීය.

“මට දැන් අවුරුදු 34ක්. මම හිතනවා මේ මගේ වෘත්තියේ වෙනසක් වෙනුවෙන් මේ හොඳ වේලාව බව. මුම්බායි ඉන්දියස් කණ්ඩායම සමග මගේ නව ඉනිම ආරම්භ කිරීමට ලැබීම සතුටුයි.”