ඇමරිකාවේ සිටින ගොඨාගෙන් හදිස්සියේ ඊමේල් පණිවුඩයක්..!

තමන් අපකීර්තියට පත් කරමින් වත්මන් රජය පසුගිය තෙවසර පුරා ආරම්භ කළ පරීක්‍ෂණවලට මුහුණ දුන්නාක්‌ මෙන්ම ඉදිරියේදීත් ඕනෑම පරීක්‍ෂණයකට තමන් පැකිළෙන්නේ නැතැයි හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පවසයි.

රටට හැමදාමත් අවංකව සේවය කළ තමන් බොරු ප්‍රචාර හෝ අනිසි පරීක්‍ෂණ මගින් බිය ගැන්වීමට හැකියෑයි ඇමැති රාජිත සේනාරත්න හෝ රජය සිතන්නේ නම් එය සිහිනයක්‌ පමණක්‌ බවද ඒ මහතා අවධාරණය කරයි.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඇමරිකාවට යමින් සිටියේ ගෝඨාභය රාජපක්‌ෂ හමුවීමට බවත් ඩුබායිහිදී මොහුගෙන් ප්‍රශ්න කිරීමෙන් රාජපක්‍ෂ රෙජීමය කැළඹී ඇතැයි ඇමැති රාජිත සේනාරත්න මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණ බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

ඔහු කර ඇති එම ප්‍රකාශය පසුගිය වසර තුන පුරා තමන් සම්බන්ධයෙන් කළ පදනම් විරහිත ප්‍රකාශ අතරට එක්‌වෙන තවත් එක්‌ ප්‍රකාශයක්‌ පමණක්‌ බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

ඇමරිකාවේ සිට ඊමේල් පණිවිඩයක්‌ යොමුකරමින් මෙම කරුණු සඳහන් කරන ගෝඨාභය රාජපක්‍ෂ මහතා හැමදාමත් තමන්ගේ විශ්වාසය වූයේ උදයංග වීරතුංග මහතාට එරෙහිව ගෙන යන මඩ ප්‍රචාරවලට පිළිතුරු දීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ඔහු සිය කැමැත්තෙන් ලංකාවට ගොස්‌ පොලිසියට අවශ්‍ය සාක්‍ෂි ලබාදීම යෑයිද කියා සිටී.

නීතිය අවනීතිය වී ඇති යුගයක රාජ්‍ය මර්දනය පිළිබඳ චකිතයකින් අභියෝග මගහැරීමෙන් සිදුවන්නෙ රාජිත සේනාරත්න වැනි දේශපාලනඥයින්ට සුපුරුදු මඩ ප්‍රචාරවල යෙදෙමින් ජනතාව නොමග යෑවීමට හැකිවීම පමණක්‌ බවද හිටපු ආරක්‍ෂක ලේකම් කියා සිටී.

රටේ ජනතාව අද දේශපාලනඥයින්ට වඩා ඉදිරියෙන් සිටින බව ඇමැති රාජිත සේනාරත්න ඇතුළු ඇතැම් ඇමැතිවරුන් සහ රජය තවමත් වටහා ගෙන නැති බවද වැඩිදුරටත් සඳහන් කරන ගෝඨාභය මහතා බොරුවෙන් මර්දනයෙන් රට පාලනය කරන වත්මන් ආණ්‌ඩුවට ජනතාව සුදුසු අවස්‌ථාවේ නිසි පිළිතුරු දෙනු ඇතැයි ද අවධාරණය කරයි.