“ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ආයේ සැලසුම් හදන්නේ නෑ” – මහේල කියයි!

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නව මගට ගෙන ඒම සඳහා හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ආදීන්ගේ සමන්විත කමිටුවේ වාර්තාව අනුව එය ක්‍රියාත්මක කිරීම මෙම මස සිට ආරම්භ කිරීමට කටයුතු යොදන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මාධ්‍යයට පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීමට අදාළ සැලැස්‌ම සකස්‌ කිරීම හේමක අමරසුරියගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවකට පැවරූ අතර එහි සෙසු සාමාජිකයන් ලෙස අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර යන ප්‍රවීණ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූහ.

“ක්‍රිකට්‌ කමිටුව විසින් සකස්‌ කරන ලද සම්පූර්ණ වාර්තාව මට දැන් බලන්න පුළුවන්. මේ දවස්‌වල ඡන්ද වැඩකටයුතු හින්ද ඒක ටිකක්‌ ප්‍රමාද වුණා. නමුත් 10 වැනිදායින් පස්‌සෙ සම්පුර්ණ වාර්තාව කියවලා මේ මාසයේ සිටම ඒ සැලැස්‌මට අනුව කළ හැකි කටයුතු ක්‍රියාත්මක කරනවා.”

“මේ සැලැස්‌ම සම්පූර්ණයෙන් බලලා මම ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල සහ මහේල ඇතුළු කමිටුවත් එක්‌ක එක මේසයක වාඩිවෙලා මේ ගැන සාකච්ඡා කරනවා. ඊට පස්‌සෙ ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය තීන්දුව ලබා දෙන්න සූදානම්.” යෑයි ඇමැතිවරයා පවසනවා.

දේශීය සියලුම ක්‍රිකට්‌ ආකෘතිවල වෙනස්‌ විය යුතු තැන්, ක්‍රීඩාංගණ සකස්‌ කළ යුතු ආකාරය, පළාත් තරගාවලිය කෙසේ විය යුතුද, ක්‍රීඩකයන්ගේ දීමනා, ක්‍රිකට්‌ නිලවරණයේ ඡන්ද සංඛ්‍යාව අඩු කළ හැකි ආකාරය ඇතුළු බොහෝ කරුණු කාරණා මෙම නව සැලැස්‌මේ අන්තර්ගතව තිබේ.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ දැන් හොඳ තත්ත්වයකට පත්වෙමින් තියෙනවා. මේ කරුණු කාරණාත් ක්‍රියාත්මක කළහම ලෝකයේ අංක එකට යළිත් අපේ ක්‍රිකට්‌ නගා සිටුවන්න පුළුවන්.” ලෙසද ඇමැතිවරයා වැඩිදුරටත් පවසනවා.

කෙසේ වෙතත් අදාළ සැලැස්‌ම ක්‍රියාත්මක නොකළහොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාව සම්බන්ධයෙන් කිසිදු අතදීමක්‌ නොකිරීමට මහේල ජයවර්ධන කටයුතු කරන බව කමිටුව රැස්‌වූ පළමු දිනයේදීම පැවසීය. එයට හේතුව හැමදාම සැලසුම් සකස්‌ කළත් ඒවා ක්‍රියාත්මක නොකරන්නේ නම් සිය මහන්සියෙන් වැඩක්‌ නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. සංගක්‌කාර පවසා සිටියේ ක්‍රිකට්‌ විසඳුමට පැලැස්‌තර දමනවාට වඩා ස්‌ථිර සැලැස්‌මක්‌ සකස්‌ කළ යුතු බවයි. මෙම ක්‍රිකට්‌ සැලැස්‌ම කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් කොටස්‌ දෙකකට සකස්‌ කර තිබේ.