රටේම ජනතාවට තුන්වේල බත් කන්න හාල් දීලා, සහල් පිට රටත් පටවපු රටක් මහින්ද මහත්තයා බාර දුන්නේ..” බැසිල් කියයි..!

රටේම ජනතාවට තුන්වේල බත් කන්න හාල් දීලා සහල් පිට රටත් පටවපු රටක් මහින්ද මහත්තයා නැවත බාර දුන්නේ.ආණ්ඩුව හොඳයි කියලා කවුරු හරි හිතනවා නම් ඔහුට ඡන්දය ලබාදෙන්න ලකුණු ගොඩක් තිබෙනවා. හැබැයි මේ ආණ්ඩුව කරපුවාට අකමැති අයට ඡන්දය දෙන්න තියෙන්නේ එක ළකුණයි,ඒ මහින්ද මහත්තයාගේ පොහොට්ටුවේ ළකුණ පමණක්යයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසයි ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ල, බටුවන්හේන ප්‍රදේශයේ පැවති ජන හමු කිහිපයක් අමතමිනි.

අපි දන්නවා මේ රටේ හිටියා මැතිවරණ සිතියම අකුලපු නායකයෝ. මහින්ද රජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා මැතිවරණ සිතියම දිගහැරලා හැමවෙලාවෙම ජනතාවගේ අදහස ජනමතය විමසපු නායකයෙක්, මේ ආණ්ඩුව පත්වෙලා අවුරුදු තුනයි මාසයයි දවසක් වෙනවා. මේ කාලය තුල ජනතාවට මේ ආණ්ඩුව පිළිබඳ මතය ජනතාවට කියන්න අවස්ථාවක් ලැබුණේ නෑ. අවස්ථාවක් දුන්නෙත් නෑ. ඡන්දය කල්දාලා තියෙද්දී නුවර ඉඳලා කොළඹට පාද යාත්‍රා ඇවිල්ලා,උද්ඝෝෂණය කරලා, උසාවි ගිහිල්ලා, බොහොම අමාරුවෙන් මේ ඡන්දය ලබා ගත්තේ. වයස අවුරුදු දහඅට සම්පූර්ණ වෙච්ච තරුණ තරුණියෝ හත් ලක්‍ෂයක් මේපාර පළමු වතාවට ඡන්දය දෙන්න යනවා. මේ අය දන්නේ නෑ මහින්ද මහත්තයා බාර ගත්ත රටේ තත්ත්වය. දකුණෙ මුහුදු තීරයේ ජීවිත හැටදාහක් විනාශ වෙලා, සිය`ඵ දේපල, ගෙවල් දොරවල්, හරක බාන ඔක්කොම සුනාමියට විනාශ වෙච්ච රටක් එතුමා බාර ගත්තේ. ඒ විතරක් නෙවෙයි රටේ මුහුදු තීරයෙන් තුනෙන් දෙකක්, රටේ භූමියෙන් තුනෙන් එකක් එල්.ටී.ටී.ඊ. පාලනයට යටවෙලා තිබුණු රටක් එතුමා බාර ගත්තේ, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කර සිටින දළදා මාලිගාවට බෝම්බ ගහලා විනාශ කරපු රටක් එතුමා බාර ගත්තේ, ශ්‍රී මහා බෝධිය ඉස්සරහා සිල් අරගෙන හිටපු සිල් මෑණියන් සිය ගානක් මරපු රටක් එතුමා බාර ගත්තේ, කිතුනු බැතිමතුන් මඩු මෑණියන් වන්දනාමාන කරනවනම් එල්.ටී.ටී.ඊ.යෙන් අවසර ගන්න ඕන රටක්, නාගදීපය, සේරුවාවිල, සෝමාවතිය වඳින්න යනවානම් එල්.ටී.ටී.ඊ.යෙන් අවසර ගන්න ඕන රටක් බාරගත්තේ. මහත්තයා වැඩට ගිහිල්ලා එනකම් බයෙන්, දරුවා ඉස්කෝලේ ගිහිල්ලා එනකම් බයෙන්, අම්මා පොලට ගිහිල්ලා බඩුටික ගේනකම් බයෙන් හිටපු රටක් එතුමා බාර ගත්තේ. පෝර නැතුව, සහතික මිලක් නැතුව, වතුර ටික හරියට නැතුව වසබොන ගොවීන් ඉන්න රටක් එතුමා බාර ගත්තේ. හාල් පොල් විතරක් නෙවෙයි පලා මිටියත් රටින් ගේන රටක් එතුමා බාර ගත්තේ. දුක් මහන්සි වෙලා ඉගෙනගෙන අම්මට තාත්තට සරමක් කමිසයක් අරන්දෙන්න බැරිව ලතවෙන උපාධිධාරීන් ලක්‍ෂයක් ඉන්න රටක් එතුමා බාර ගත්තේ. ගමේ පාරට කාපට් නෙමෙයි බොරලු ටිකක් දාගන්න බැරි රටක් එතුමා බාරගත්තේ, ජීවන වියදම ඉහල ගිහිල්ලා, දුප්පත්කම ඉහල ගිහිල්ලා, සංවර්ධනය අඩුවෙලා, ඒක පුද්ගල ආදායම අඩුවුනු රටක් එතුමා බාරගත්තේ.රටට සංචාරකයෝ තියා විදේශ ආයෝජකයෝ එන්නේ නැති, එක දවසේ ගුවන්යානා අටක් විනාශ කරලා ගුවන්යානා එන්නේ නැති රටක් එතුමා බාර ගත්තේ. මහාමාර්ග වාරිමාර්ග බවට පත්වුනු රටක්, ලංගම බස් ටික කොට උඩ තිබුනු රටක්, කෝච්චි පෙට්ටි – එන්ජින් නැති රටක්, බාගෙකට රැකියා නැති රටක් තමයි එතුමා බාර ගත්තේ,

රටේම ජනතාවට තුන්වේල බත් කන්න හාල් දීලා සහල් පිට රටත් පටවපු රටක් මහින්ද මහත්තයා නැවත බාර දුන්නේ. මුං ඇට, කව්පි විතරක් නෙවෙයි බඩ ඉරිඟු වලින් ස්වයංපෝෂිත රටක් බාර දුන්නේ. කන්න දහනවයක් එක දිගට 350 ට පෝර දීලා ගොවියාගේ අතමිට සරු කරලා එතුමා බාර දුන්නේ. වී ගොවියා, තේ ගොවියා, රබර් ගොවියා, කිරි ගොවියා, එළවලු ගොවියා, බුලත් ගොවියා, ගම්මිරිස් ගොවියා ආදී මේ හැමෝගෙම අතමිට සරු රටක් එතුමා බාර දුන්නේ. සියලු උපාධි ධාරීන්ට රැකියා තියෙන රටක් එතුමා බාර දුන්නේ. මහින්දෝදය විද්‍යාගාර හදලා අධ්‍යාපනය දියුණු කරපු රටක් එතුමා බාර දුන්නේ. ගමේ පාරවල් කාපට් කරලා, අධිවේගී මාර්ග, ජාත්‍යන්තර වරායවල්, ජාත්‍යන්තර ගුවන්තොටුපලවල් හැදෙන රටක් එතුමා බාර දුන්නේ. දිවි නැගුම, ගම නැගුම, එක් ගමකට එක් වැඩක්, ළමා හා මාතෘ සායන හැදෙන රටක් එතුමා බාර දුන්නේ. මේ රටේ දිස්ත්‍රික්ක විසිපහේම, පලාත් නමයේම, මු`ඵ රටේම ජාතික කොඩිය උස්සපු රටක් නොබෙදුනු රටක් ඒකීය රටක් තමයි එතුමා බාර දුන්නේ. මු`ඵ රටම වැඩබිමක් කරලා දුන්නේ. ලක්‍ෂ තුනක් ආපු විදේශ සංචාරකයෝ ලක්‍ෂ විසිපහක් දක්වා වැඩි කරලා විදේශ ආයෝජකයේ වැල නොකැඩී එන රටක්, කටුනායක ගුවන්තොටුපලට ලෝකේ තිබෙන හැම ගුවන් යානයක්ම එන රටක් රටක් එතුමා බාර දුන්නේ.

දැං කොහොමද රට. විකුණගෙන කනවා. වරාය විකුණලා ඉවරයි, මත්තල විකුණලා ඉවරයි, ගස් ටික කපලා කැලෑ ටික ඉවරයි, ඇත්තුන්ගේ දළ කපලා ඇත්තු ටික ඉවරයි, මැච් පැරදිලා පැරදිලා ක්‍රිකටුත් ඉවරයි. පංසල්වල පිංකැට ටික සීල් කරලා හාමුදුරුවෝ හිරේ දාලා බුද්ධාගමත් ඉවරයි. රණවිරුවා හිරේ දාලා රණවිරුවා ඉවරයි. දරුවන්ගේ තාක්‍ෂණ විද්‍යාවත් ඉවරයි. කම්පියුටර් ටික බිල ගෙවන්නේ නැතිව පෙට්ටිවල දාලා වහලා.

ජීවන වියදම ඉහල ගිහිල්ලා. ලන්ච් ශීට් එක තුනයි පනහයි. කරවල කෑල්ලේ ඉඳලා හාල් පොල් ඔක්කොම ගනන් ගිහිල්ලා. හැබැයි එකක් අඩුකරලා තියෙනාවා. ඒ තමයි බියර්. ඔබ පෙබරවාරි දහවෙනිදා ගන්න තීන්දුව අනුව තමයි මේ රට එක රටක් හැටියට තියෙනවාද මේ රට ඔබේ දරුවන්ගේ දරුවන්ට අයිති කරලා දෙනවද කියලා තීන්දු වෙන්නේ. ඔබ පෙබරවාරි දහවෙනිදාට ඔබ වැරදි තීන්දුවක් ගත්තොත් රට විකුණලා බදු දීලා විතරක් නෙවෙයි රට එකට දෙකට තුනට නෙවෙයි නමයට කඩලා තමයි ඉවර වෙන්නේ.

මේ ඡන්දය කුඩා ඡන්දයක් නෙමෙයි. මෙය රට ගැන තීන්දුවක් ගන්න ඡන්දයක්. දැන් සමහරු ඇවිල්ලා බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගැන කතා කරනවා. බණ්ඩාරනායක මහත්තයා පංචමහා බලවේගය සමග එක් වෙලා පනස්හයේ විප්ලවයක් කලා. මේ ස්වදේශිකයන්ගේ භාෂාව වන සිංහල රාජ්‍ය භාෂාව කරලා දෙමළට සම තැන දුන්නා. ආයුර්වේද දෙපාර්තමේන්තුව ඇති කරලා ආයුර්වේදය නගාසිටෙව්වා. ජනතාවගේ සංස්කෘතිය ආරක්‍ෂා කරන්න සංස්කෘතික දෙපාර්තමේන්තුව ඇති කලා. පිටරට්ටුන්ට අයිති ජාතික සම්පත්, වරාය, තෙල්ටැංකි ටික, ඉඩම්, රන් පවුම්, වතු, රක්‍ෂණ, බණ්ඩාරනායක මහත්තයා, මැතිණිය නැවත ජනතාවට ගත්තා. ඒක තමයි බණ්ඩාර නායක ප්‍රතිපත්තිය, ශ්‍රී ලංකා එකේ ප්‍රතිපත්තිය. එතුමා බලයට එන වෙලාවේ මේ රටේ හමුදා කඳවුරු දෙකක් තිබුණා ත්‍රීකුණාමලය සහ කටුනායක. එතනට ගිහින් එතන උස්සලා තිබිච්ච සුද්දගේ කොඩිය බිම දාලා ඔබගේ ජාතික කොඩිය ඉස්සුවා. එහෙම උස්සපු බණ්ඩාරනායක මහත්තයාගේ නම පාවිච්චි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයායි කියාගන්න, පාච්චලයටත් එක්ක මහින්ද මහත්තයා හදපු වරායේ තිබිච්ච ජාතික කොඩිය පල්ලෙහාට දාලා චීනාගේ කොඩිය උස්සනවා. බණ්ඩාරනායක මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මේක තරම් පාච්චලයක් තියෙනවද. මහින්ද මහත්තයා පලාත් නමයේම උස්සපු ජාතික කොඩිය උතුරේ කෙනෙක් උස්සන්න බෑ කියනවා. ඒක ආණ්ඩුකාරවරයා බලන් ඉන්නවා. එයාගේ මහ එකත් බලන් ඉන්නවා.

එදා දිවංගත බණ්ඩාරනායක මහත්තයාගේ ලේ තැවරිච්ච පක්‍ෂය කිව්වේ එක්සත් ජාතික පක්‍ෂයයි. අක්කර 3000ක් අනුන්ගේ ඉඩම් වලින් දීලා බිංදු කතාවක් කියලා සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය නැති කලේ එක්සත් ජාතික පක්‍ෂයයි. යූ එන් පී එකේ මන්ත්‍රීවරු පහෙන් එකක්, හතලිස් ගානක් ඉද්දී රනිල් අගමැති කලා.2015 අගෝස්තු ඡන්දයට ඉස්සෙල්ලා මහින්ද මහත්තයා අගමැති කරන්නේ නෑ කිව්වා. ලේකම්ලා දෙන්නා අස්කලා ඡන්දය දවසේ. කවුන්ටින් ඒජන්ට්ලා, පෝලිං ඒජන්ට්ලා පත් කරගන්න බැරි කලා. ඒත් යූ එන් පී එකට 113 ගන්න බැරිවුනා.

නමුත් මෙයා ජාතික ආණ්ඩුවක් කියලා ගාල්ලෙන් ඡන්දය අරන් ගිය දෙතුන්දෙනෙක් තල්ලු කලා යූ එන් පී ආණ්ඩුවක් ගෙනියන්න. ජාතික සම්පත් විකුණන්න යූ එන් පී එකට උදව් කරනවාට වැඩිය පාපකර්මයක් තියෙනවාද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කියාගන්න නායකයින්ට. ඒ නිසා බණ්ඩාරනායක ප්‍රතිපත්ති, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති තියෙන්නේ මහින්ද මහත්තයා ලඟයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙයි.

ඔබට කරන්න තියෙන්නේ එක දෙයයි. මහින්ද යුගයට පෙර යුගයයි, මහින්ද යුගයයි, ඊට පසු යුගයයි පිළිබඳ කල්පනා කරලා බලන්න. පෙබරවාරි දහවෙනිදාට ඒ ඡන්දය පාවිච්චි කරන්න. මෙම ජන හමුව සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ, දකුණු පලාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම, මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදින අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් ඇතුළු පිරිසක්සහභාගී වුහ.