“ආණ්ඩුවේ පරාජය වසා ගන්නට එන කුමන්ත්‍රණ සිහිනය” – විශ්ව චින්තන ලියයි…

ඊයෙ රෑ මර නින්දෙදි දැක්කා නොවැ අපූරු හීනයක්.. ඒ හීනෙට අනුව මම අනාගතේට ගිහිල්ලා හිටං.. හෝමාගම පොහොට්ටුවේ අවසාන රැස්වීමට යන්න හිතං ලැහැස්ති වෙන එකෙන් තමයි හීනෙ පටන් ගන්නෙ.. බලද්දි කරන්ට් එක නෑ.. ඒක ගනං නොගෙනම ගිහින් නුගේගොඩින් එල්ලුනා කළාතුරකින් ආපු හෝමාගම පැත්තට යන බස් එකක.. පොල් පටවලා වගේ සෙනඟ.. ෆුට් බෝඩ් එකෙන් යන්තම් ඔළුව දානකොට ඇහෙන්න ගත්තා බස් එකේ රේඩියෝ එකේ සද්දෙ.. ඇඩ් දෙකකට පස්සෙ යන්න ගත්තා මේ පැයේ පුවත් සිරස්තල.. සිරස්තල එකින් එක යනවා මෙහෙම පිළිවෙලකට..

‘..විදුලි වර්ජනයෙන් රටම අඳුරේ.. ජනතාව කැලඹේ..’
‘..විදුලි වර්ජනය නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිදැයි තීරණය කිරීමට මැතිවරණ කොමිසමේ හදිසි රැස්වීමක්..’
‘..අද උදේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා දහ වෙනිදා සවස තෙක් බන්ධනාගාර රෝහලට..’
‘..ශ්‍රීලනිපයෙන් ඊයේ නෙරපා දැමූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විසි දෙනාගේ මන්ත්‍රීධූරද අහෝසි විය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි..’
‘..බුලත් කොළය සහ අත ළකුණු සහිතව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රට පුරා මහා පරිමාණයෙන් අලවා ඇති පෝස්ටර් මැතිවරණ නීති කඩ කිරීමක් ලෙස පිළිගත නොහැකි බව ස්වාධීන මැතිවරණ කොමිසම නිවේදනය කරයි..’
‘..රාජපක්ෂවරුන්ගේ යැයි සාක්ෂි අනාවරණය වූ ඩොලර් බිලියන 20ක බැංකු ගිණුම ගැන විමර්ශණයට මූල්‍ය අපරාධ කොට්ඨාශෙයේ පිරිසක් ඩුබායි රාජ්‍යයට අද රාත්‍රී පිටත් කර යවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න හෙළිදරව් කරයි’

අන්තිම සිරස්තලේ ඉවර වෙනවත් එක්කම තමයි නෙට් එකේ ලණුව කඩං නෙට් එක ඇඟට වැටුනෙ.. අපරාදෙ ඉතුරු ටික අහගන්න බැරි උනා..

මේ තරම් මෛත්‍රීයෙන් පිරිච්ච ජනාධිපති උත්තමයෙකුයි.. ලිච්චවී ක්‍රමේට වැඩ කරන අගමැතිතුමයි.. එතුමාගෙ කෘත්‍යාධීකාරී මණ්ඩලෙයි.. පටිසෝතගාමී ඇමතිතුමන්ලයි.. අසාධාරණේ කොතනද පැත්ත නොබලා සරම කරට ගන්න අපේ පිනටම පහළ වෙච්චි රතු සහෝදරවරු සෙට් එකයි රට කොරවන මේ කාලෙ ඔහොම පජාති වැඩ වල හෙඩ්ලයින්ස් වත් අපිට අහන්න ලැබුනෙත් ලැබෙන්නෙ හීනෙන්ම තමයි හිටං..

හීනය හීනයක්ම වේවා.. මෛත්‍රීවේවා එහෙනම්..

– විශ්ව චින්තන